පාලිත නික්ම යයි....

මාර් 07, 2021

    ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අංශ ප්‍රධානී පාලිත සෙනෙරත් යාපා මහතා අද (07) අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 57ක්. රූපවාහිනී සංස්ථාවේ පළමු පුහුණුවන නිෂ්පාදන සහකාර කණ්ඩායමට අයත් පාලිත සෙනෙරත් යාපා මහතා 1983 ඔක්තෝබර් මස සංස්ථා සේවයට එක්විය. 24 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා වූයේ ඔහුයි. 1964 මැයි 10 දින ගම්පහදී උපත ලැබූ ඒ මහතා අධ්‍යාපනය ලැබූවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

    රූපවාහිනී ක්‍රීඩා අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ඔහු ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක රූපවාහිනී නිෂ්පාදකවරයා ද විය. ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම පාපැදි ඇතුළු තරගාවලි රැසක් ඊට ඇතුළත්.

    ප්‍රවීණළ රංගන ශිල්පිනියක වූ දෙනවක හාමිනේ මහත්මියගේ මුණුපුරකු වූ පාලිත සෙනෙරත් යාපා මහතා, චිත්‍රපට හතරකට රංගනයෙන් දායක වී තිබේ. දෑස නිසා, කොළඹ සන්නිය, දඬු මොණර සහ සරදියෙල්ගේ පුතා එම චිත්‍රපටයි.

    රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ද දිගු කලක් සේවය කළ ඔහු, 2002 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු වාර්තාකරණයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ද ලක්විය.

    එහිදී ඔහුගේ පාදයකට ද දැඩි ලෙස හානි සිදුවූ අතර, ශ්‍රවණාබාධිත තත්වයකට ද පත්විය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 6.00ට තලවතුගොඩ පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට‍ නියමිතයි.

                              "38 වසක් අප සමඟ රුඳුණු සුමිතුරාණෙනි, ඔබට නිවන් සුව"

    Latest News