මිහිඳු මහසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ

මාර් 07, 2021

    ඔක්තෝම්බර් මාසය වනවිට මිහින්තලය මිහිඳු මහා සෑය වන්දනා කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව ලැබෙන බව, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර පූජනීය ස්ථාන කිහිපයක් ඊයේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. මිහිඳු මහසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය යෙදෙන වප්පුර අටවක පොහොය දිනය වනවිට අවසන් වන බව, ඔහු සඳහන් කළේය. සඳහිරු සෑයේ වර්තමාන ප්‍රගතිය ද ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය. එම ස්ථූපයේ යෝජිත වාහල්කඩෙහි නිදන් වස්තු තැන්පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

    මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන, මහමෙව්නා සංඝ සභාවේ ලේකම් පූජ්‍ය අලුදෙණියේ සුබෝධි, පූජ්‍ය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි යන හිමිවරුන් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News