පාස්කු වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නැහැ, ඩීල් දාන්නෙත් නැහැ, කිසිවෙකු සන්තෝෂ කරන්නෙත් නැහැ. ජනපති “ගම සමග පිළිසඳරේදී” කියයි .....

මාර් 07, 2021

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණයෙන් කියා සිටී.

    ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිතුමා පවසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි. ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණය. උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදිය. ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක් බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවකි. එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළහ. තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

    2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබිණ. 2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළහ. කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර තිබේ.

    රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිතුමා කියා සිටී.

    අද (06) පෙරවරුවේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. 2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

    ගල්ගමුව නගරයේ සිට කි.මි 27ක් දුරින්, උතුරෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයට, බටහිරෙන් පුත්තලම දිස්ත්‍රීක්කයටත් මායිම්ව ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා තිබේ. ගිරිබාව නගර මධ්‍යයේ සිට වේරගල ගම්මානයට ඇති දුර කි.මි 03කි. ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35 අතරින් වැඩිම දරිද්‍රතාවක් සහිත දුෂ්කරතම ග්‍රාම නිලධාරී වසම ලෙස වේරගල සැලකේ.

    වේරගල සහ මාඳුරාගම යන ගම්මාන ග්‍රාම සේවා වසමට අයත්ය. සාලිය කුමාරයා, අශෝක මාලා කැටුව පැමිණ සැගවුණු ගම හැඟෝගම බවටත්, පසුකාලීනව මාඳුරාගම බවටත් පත්ව ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වේරගල රජ මහා විහාරස්ථානයේ ඉතිහාසය වළගම්බා රජ දවස දක්වා දිව යයි. පවුල් 149කින් සමන්විත වේරගල සහ මාඳුරාගම ගම්මාන දෙකෙහි ජනගහණය 449කි. වී, තල, බඩ ඉරිඟු කවුපී, මුං සහ උඳු වගාව ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට ගිරිබාව මහජන ක්‍රීඩාංගණයේ සිට මාඳුරාගම ක්‍රීඩාපිටියට පැමිණි ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටී ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

    “සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ද අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

    “දැයට එළිය” වැඩසටහන යටතේ විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභී ජනතාවට විදුලිය සැපයේ. විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙයි. නිවාස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය සම්පාදනය කරයි. මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය දීමට රජය සැලසුම් කර තිබේ.

    ගල්ගමුව යූ.බී වන්නිනායක විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිව්‍යාංජලී ඇල්වලදෙණිය සිසුවිය තමා රචනා කළ “කිරිඅත්තාගේ සිහිනය” ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින් ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

    SLT මොබිටෙල් ආයතනය ගිරිබාව කණිෂ්ඨ විද්‍යාලයට සහ ගම්පල කණිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 02ක් හා ඩයලොග් ආයතනය ගිරිබාව මහා විද්‍යාලයට සහ ගම්පොළ කණිෂ්ඨ විද්‍යාලයට පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    SLT px 900 07 03 21

    රාජාංගනය ජලාශය සහ උස්ගල, සියඹලංගමුව වැව් ජලයෙන් ප්‍රදේශයේ වැව් පද්ධතිය පෝෂණය කිරීමට ඇති හැකියාව කෙරෙහි ජනතාව නිලධාරීන්ගේ අවධානය යොමු කළහ.

    වගාව සඳහා පොකුණු ක්‍රමයට වගා ළිං ඉදි කිරීමටත්, මාඳුරාගම ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් දීමටත් තීරණය කෙරිණ. සෝලේ වැව, සෝලේ පුර, වී පොකුණ, නිකවැව, කදුරුවැව සහ මහ අන්දරවැව ඇතුළු සියලු වැව් ප්‍රතිසංස්කරණයට කඩිනමි පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ගිරිබාව ප්‍රදේශයට නැනෝ ෆිල්ටර් 16ක් සවි කිරිමට ජල සම්පාදන අමාත්‍යාංශයට නියම කෙරිණ.

    ප්‍රදේශයේ ජනතාවට ගැටළුවක් වී ඇති වන අලි ගම්වැදීමට පිළියමක් ලෙස විදුලි අලි වැට සක්‍රීය කිරීමටත් උපදෙස් දෙනු ලැබීය.

    ගිරිබාව ග්‍රාමීය රෝහලේ, රාජාංගණය පැරකුම් පුර ග්‍රාමීය රෝහලේ සහ ගල්ගමුව මූලික රෝහලේ වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත් යටිතල පහසුකම් සංවර්ධනයටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

    ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 33ක කි.මි 105ක මාර්ග පද්ධතිය කඩිනමින් සංවර්ධනය කිරීමට ද තීරණය කෙරිණ.

    පහළ ගිරිබාව මහ විද්‍යාලය, පොතානේගම විජය කණිෂ්ඨ විද්‍යාලය, ඉහළ මරදන්කඩවල ප්‍රාථමික විද්‍යාලය, ගම්පොළ කණිෂ්ඨ විද්‍යාලය, රාජාංගනය සාලිය අශෝක මාලා නවෝද්‍යා පාසල, සමුද්‍රා මහා විද්‍යාලය සහ මයිලෑව මහ විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල්වල ගුරු හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ගිරිබාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය සහ ගිරිබාව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය අද (07) ආරම්භ කිරිමටත්, ප්‍රදේශයේ පාසල්වල ක්‍රිඩාපිටි, ආරක්ෂක වැට ඉදිකිරීමත්, සනීපාරක්ෂක පහසුකම් සැලසීමත් යුද හමුදා ඉංජිනේරු සේවා බලකායට භාර කෙරිණ.

    වේරගල විහාරස්ථානයේ සිට පොතානේගම දක්වා සිසු සැරිය බස් රථයක් සඳුදා (08) සිට ධාවනයට යෙදවිමට රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය.

    කිරි ගොවීන් මුහුණපාන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. රසායනාගාර පහසුකම් සහිත පශු වෛද්‍ය කාර්යාලයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ප්‍රදේශයේ තෘණ බිම් සංවර්ධනය කඩිනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ප්‍රදේශයේ විදුලි, සන්නිවේදන සහ සනීපාරක්ෂක ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාලිමටත් තීරණය විය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත්, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, යූ.කේ. සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත්, මංජුලා දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

    Latest News