පාකිස්තාන, බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීන් අගමැති හමුවෙති

මාර් 05, 2021

    පාකිස්තානයේ ගුවන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මසිහුසාමාන් සර්නියාබාත් මහත්වරු ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුමට සහභාගී වීම සඳහා පකිස්තාන හා බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. පාකිස්තානය සහ බංග්ලාදේශයේ ගුවන් හමුදා ප්‍රධානීහු ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහයන් ලබාදීමට මෙන්ම මෙරට ගුවන් හමුදා නිලධාරීන්ට ලබා දිය හැකි පුහුණු පාඨමාලා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයාට සැල කර සිටියහ.

    පසුගිය සතියේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ සංචාරයෙන් දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම දෙරට අතර “සබඳතා වර්ධනය, ශක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීමක්”යැයි පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පැවසීය.

    “අපි ශ්‍රී ලංකාව සමඟ උරෙන් උර ගැටී සිටිමු” යැයි හෙතම සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ බංගලදේශ ගුවන් හමුදාවන් අතර ඇති සමීප සබඳතා ගැන අදහස් පළ කළ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සර්නියාබාත් මහතා “අපි අපේ මිතුරන් සමඟ එකමුතුව සිටිනවා” යැයි අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසීය.

    පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී සමඟ වූ සංවාදයේදී ක්‍රිකට් මාතෘකාව ද මතු විය. “පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවීමට ශ්‍රී ලංකාව කළ මෙහෙයට ස්තුතිවන්ත වෙනවා” යැයි කී එයාර් චීෆ් මාෂල් ඛාන් මහතා, 2019 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම ලොව සෙසු රටවල්වලට පකිස්තානයේ ක්‍රීඩා කිරීම සඳහා විශ්වාසය ඇතිකිරීමට ඉවහල් වූ බව කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බස් රථයට 2009 වසරේ දී පකිස්තානයේ දී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පළමු වතාවට පාකිස්තානයේ පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2019 තරගවාරයේ දී බව මෙහි දී කතාබහට ලක්විය.

    ගුවන් හමුදා ප්‍රධානීන් දෙදෙනා සිය රටවල කොවිඩ්-19 තත්ත්වය, මෙම වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය නගා සිටුවීම, කලාපීය සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව ද අගමැතිතුමා සමඟ සාකච්ඡා කළහ.

    Last modified on සිකුරාදා, 05 මාර්තු 2021 19:46

    Latest News