රබර් වගාවේ කොළ මැලවීමේ රෝගය මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණය (වීඩියෝ)

මාර් 05, 2021
  • රබර් වගාවේ කොළ මැලවීමේ රෝගය මැඩලීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

    එහි නියමු ව්‍යාපෘතියක් යටියන්තොට පනාවත්ත වතුයායේ දී ක්‍රියාත්මක කෙරුණා. රබර් පර්යේෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. දිලීර ආසාදනයකින් හටගන්නා පෙස්ටිලොප්සිස් නැමැති කොළ මැලවීමේ රෝගය සදහා රබර් කොළ මත බෙහෙත් ඉසීම මෙතෙක් කලක් ප්‍රායෝගිකව අපහසු කටයුත්තක් වී තිබුණා. ඊට පිළියමක් ලෙස රබර් කොළ මතට රසායන ද්‍රව්‍ය ඉසීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට යෝජනා ඉදිරිපත් කෙරුණු අතර නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද්දේ ඒ අනුවයි.

     

    රබර් වගාවට හානි කරන මෙම දිලීර රෝගය මුල්වරට 2019 වසරේදී හඳුනා ගැනුනේ රත්නපුර කලවාන ප්‍රදේශයෙන්. එය අද වනවිට කෑගල්ල, කළුතර වැනි දිස්ත්‍රික්ක වෙත ද ව්‍යාප්ත වී තිබෙනවා. රබර් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ විශේෂයෙන්ම වැඩි වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවල මෙම දිලීර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. කොළ මැලවීමේ රෝගය මැඩලීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම අනිකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News