වේල්ල වීදියේ තරුණියගේ ඝාතනයට සැක SI සියදිවි හානි කරගනී

මාර් 03, 2021

    වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

    ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, රබර් වත්තක, ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කර ගෙන ඇතැයි පොලීසිය සැක පළ කරයි.

    එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

    පසුගිය මාර්තු 1 වන දා වේල්ල වීදිය ප්‍රදේශයේ දී හිස නොමැති මළ සිරුරක් සොයාගනු ලැබු අතර එය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ කාන්තාවකගේ බවට අනාවරණය විය.

    ඇය 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

    ඇය ඝාතනය කළ පුද්ගලයා ලෙස සියදිවි හානි කරගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගත් අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු නිවසින් පළාගොස් තිබුණි.

    කෙසේවෙතත් සෝදිසි මෙහෙයුම් කළ පොලිස් නිලධාරීන්ට පොලිස් නිලධාරියාගේ සිරුර හමුවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    දැනට ඇති සාක්ෂි අනුව ඔහු වස පානය කර සියදිවි හානි කරගන්නට ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

    Latest News