සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව - රාජිත ඇතුළු දෙදෙනෙක්ට එරෙහි ගොනුකළ නඩුව අප්‍රේල් 28 යළි කැදවයි

මාර් 02, 2021

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ දී කැඳවනු ලැබීය. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛන ලබාදීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කලේය.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස 28 වැනිදා කැඳවීමට නියම කළේය.

    ඉකුත් 2019 වසරේ නොවැම්බර් 10 වැනිදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබේ.

    මෙම මාධ්‍ය සාකච්ඡාවකට එවක ඇමති රාජිත සේනාරත්න මහතා සමග එක්වු අතුල සංජීව මදනායක සහ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, මරා දැමීම සහ කොල්ලකෑම් යන සිද්ධීන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් අනාවරණය කර තිබූ අතර ඊට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබූ බවටත් ඔවුන් විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කර තිබිණ.

    එමෙන්ම කොටි සංවිධානය සතු රත්රන් තොග කොල්ලකෑම් සම්බන්ධයෙන් ද ඔවුන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කර තිබිණ.

    ඒ තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කර ලංකා දණ්ඩ නිති විග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ලකර තිබේ.

    Latest News