කොරෝනා වලින් සුරක්ෂිතම රට ලංකාව බවට පත් කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග

මාර් 01, 2021

    හැකි ඉක්මණින් රටේ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඉදිරි සතිදෙක අවසන් වන විට මෙරට ජනගහණයෙන් ලක්ෂ 10 පිරිසකට කොවිඩ් එන්නත විද අවසන් වන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට කොවිඩ් වසංගතය ජයගෙන රටේ ආර්ථිකය ගොඩ නැගීමට හැකිවන බවට විශ්වාසය පළ කළ ඇමතිවරයා රටවල් 130කට පමණ මෙම කොවිඩ් එන්නත ලබා ගත නොහැකිව සිටිය දී මෙරටට මෙම එන්නත ලබා ගැනීමට හැකිවීම ආණ්ඩුව ලබපු ජයග්‍රහණයක් බව ද පෙන්වා දෙයි.

    මිනුවන්ගොඩ තරුණ බල මණ්ඩලයට පහුගිය දා (27) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    අද වනවිට අපේ රටේ කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන සිදුවෙමින් තිබෙනවා. පහුගිය සතියේ තවත් එන්නත් ලක්ෂ 05ක් රටට ආවා. කලින් ලැබුණු ලක්ෂ 05 ත් එක්ක එතකොට ලක්ෂ 10ක්. තව මාස දෙක තුනක් යන්න කළින් අපේ රටේ මේ එන්නත ලබා දිය හැකි සියලුම දෙනාට අපි මේ එන්නත ලබා දෙන්න කටයුතු කරනවා. අපිට වඩා දියුණුයි කියන නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තවමත් එන්නත ලබා දීලා නෑ. රටවල් 136 ක් තවමත් මේ එන්නත විදින්න පටන් අරගෙනවත් නෑ. හැබැයි ගෝඨාභය – මහින්ද සුසංයෝගය හැමවිටම මුල් තැන දුන්නේ රටේ ජනතාවට. අද වනවිට කොරෝනා පාලනය කරපු හොදම රටවල් 10න් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා ඉන්නේ. ඉදිරි මාස කීපය තුළ කොවිඩ් එන්නත ලබාදීපූ ලෝකයේ කොවිඩ් වලින් සුරක්ෂිතම රට බවට අපේ රට පත් කරනවා.

    යුද්ධය දිනපු, කොරෝනා පාලනය කරන්න කැපවුණු ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ආර්ථිකය ගොඩ නැගීම කජ්ජක් නෙමෙයි. කොවිඩ් තිබුණත් රට සංවර්ධනය අපි නතර කළේ නෑ. කොවිඩ් තියෙද්දිත් රටේ රැකියා ප්‍රශ්නය විසදන එක අපි නතර කළේ නෑ. සමහරු උත්සාහ කරනවා ගෝඨා ෆේල් කියලා මතයක් රට තුළ වපුරන්න. මේක කරන්නේ මේ රට කාපු, මේ රට විකුණපු අයයි. පහුගිය යහපාලන ආණ්ඩුව තමයි මෙරට ඉතිහාසයේ බිහි වූ ෆේල් ම ආණ්ඩුව. එහෙම ෆේල් ආණ්ඩුවක් කරපු නිසා මහජන විශ්වාසය බිද වැටිලා කුජීත වෙච්ච අය තමයි අද මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්නේ. අපි කිසිසේත් මේ රටේ ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය පළුදු වෙන්න කිසිදු ඉඩක් තියන්නේ නෑ.

    අද හුග දෙනෙකුට ඉතිහාසය මතක නෑ. විශේෂයෙන් ම විපක්ෂයේ උදවියට. 88 - 89 කාලේ එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රට අමු ලේ විලක් බවට පත් කළා. පාරවල් වල ටයර් සෑයවල් වල අපේ රටේ අනාගත පරපුර පිච්චුවා. ගංගාවල පා කළා. වධකාගාර වල දෙතිස් වධය දුන්නා. අද ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි කථා කරන්නේ මැරිලා ඉපදිලා වගෙයි. බලයට පත්වෙලා කෙටි කාලෙකින් අපි උපාධිධාරීන් 60,000කට රැකියා දෙන්න කටයුතු කළා. අපොස සා/පෙ සමත් නැති තරුණ තරුණියන්ට රජයේ රැකියා දුන්නා. මේ ව්‍යාපෘති අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා.

    විපක්ෂයේ බොරු බේගල්වලට රැවටෙන්න එපා. මොකද විපක්ෂය හදන්නේ රට පුරා බොරු වපුරලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්නයි. විපක්ෂයේ ඒ ගැටේට නම් ජනතාව ආයෙත් අහුවෙන්නේ නෑ. ඒක විශ්වාසයි.

    රාජ්‍ය ඇමති ඩි.වි. චානක, ප්‍රවීණ රංගන ශීල්පී ඕෂධි හේවාමද්දුම, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුන් ද මෙහිදී කථා කළහ.

    Latest News