නුග ගසකට ගිනි තැබූ පුද්ගලයකු අත්අඩංගුවට

මාර් 01, 2021

    ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වන ලැහැබකින් සොයා ගත් කෘෘඩියා සෙලනිකා හෙවත් පඬු කරද ගස පිහිටි ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් දාරළුව වතුමුල්ල මාර්ගයේ ජපන් පාලම අසල පිහිටා තිබූ ඉන්දියන් නුග වර්ගයේ විශාල ගසක් ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

    එම ගස ගිනි තැබූ පුද්ගලයා ඊයේ දිනයේ ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දාරළුව ප්‍රදේශයේම පදිංචි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයකු බව ගම්පහ පොලිසිය පවසයි.

    දාරළුව – වතුමුල්ල මාර්ගයේ කෙටවල අමුණ වෙල්යායේ ජපන් ආධාර මත ඉදි කරනු ලැබූ ජපන් මිත්‍රත්ව පාලම 1996 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් විවෘත කිරීමේදී එම මාර්ගයේ දෙපස අලංකරණය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියන් නුග ගස් 05ක් සිටුවා ඇති අතර, මේ වනවිට ඉන් 03ක් විනාශවී තිබෙන අතර, ඉතිරිවී ඇති ගස් දෙකකට පසුගිය 27 වැනිදා රාත්‍රියේ ගිනි තබා තිබේ.

    ගිනි ගැනීමට ලක් වූ ගස් දෙකෙන් එක් ගසක් දාරළුව වතුමුල්ල මාර්ගය හරහා වැටී තිබුණු අතර මාර්ගයේ ගමනාගමනය ඊයේ පෙරවරු 11.30 පමණ වන තෙක් සම්පූර්ණයෙන් ඇනහිට ඇත.

    ගසට ගිනි තැබූ සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා පවසන්නේ මෙම ගස අසල පිහිටි තම කුඹුරු යායට ගිනි තැබීමේදී ගින්න පැතිරී ගොස් ගසට ඇවිළී ඇති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News