සා.පෙළ විභාගය - ආසාදිත සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

පෙබ 28, 2021

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කෙරේ. විභාගයට පෙනී සිටින අතරතුර කිසියම් සිසුවෙක් ආසාදිත වුවහොත් ඊට පෙර සූදානමක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම ඔවුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර තිබේ.

    අතිරේක විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම වෙනුවෙන් පළාත් මට්ටමින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 500ක්. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මීට පෙර පසුගිය වසරේ ඔක්තොම්බර් මස කොවිඩ් වසංගත තත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හැකිවිය.

    කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කොවිඩ් වසංගතය හමුවේ පැවැත්වෙන දෙවැනි ප්‍රසිද්ධ විභාගය මෙයයි.

    දිවයින පුරා පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513ක්. සිසුන් හය ලක්ෂ 22,000ක් විභාගයට පෙනී සිටීමට නියමිතයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබුණ ද කොවිඩ් වසංගත තත්වය හමුවේ එය මාස තුනකට ආසන්න කාලයකින් කල් ගියේය. කෙසේ වෙතත් හෙට විභාගය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

    Latest News