මෙරට හාර ලක්ෂ 41,976කට එන්නත් ලබාදී අවසන්

පෙබ 28, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා හාර ලක්ෂ 41,976 දෙනෙක්ට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. කොවිඩ් 19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ, 31 වැනි දිනටයි.

    ඊයේ එන්නත ලබා දුන් පිරිසට 35,343 දෙනෙක් ඇතුළත්. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ දී අද සිදු කෙරේ. එහිදී දහසකට පමණ එන්නත ලබාදීමට නියමිතයි.

    කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහනක්,දීපංගොඩ,ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ඊයේ ආරම්භ කෙරිණ. ඊයේ දිනයේ පමණක් පුද්ගලයන් 450කට පමණ එන්නත් ලබාදී තිබේ.

    ගම්පහ, පහළ යාගොඩ ග්‍රාම නිලධාරී වසමේ 700 දෙනෙක්ට සහ රාගම, ඉහළ කරගහමුන ග්‍රාම නිලධාරී වසමේ 400 දෙනෙක් සඳහා එන්නත් ලබාදීම ඊයේ සිදු කෙරිණ. ඒ ශ්‍රී සුගතනන්දනාරාම පුරාණ මහ විහාරස්ථානයේ දී සහ නුගවෙල විහාරස්ථානයේ දී.

    Latest News