icc

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය

පෙබ 23, 2021

    2021 එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ රැස්වීම සමානාත්මතාවය පිළිබඳව යලි සිතීම: තිරසාර සංවර්ධන අරමුණු සඳහා වන දශකය තුළ දී ජාතිවාදය, භීතිකාව සහ වෙනස්කම් කිරීම තුරන් කිරීම. එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය 2021 පෙබරවාරි 18 වැනි බ්‍රහස්පතින්දා අතථ්‍ය රැස්වීම

    සභාපතිතුමනි,

    සත්‍ය වශයෙන්ම, ඉතිහාසය පුරාම ජාතිවාදය, භීතිකාව සහ වෙනස් කොට සැලකීම මඟින් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පරීක්ෂණයට භාජනය කොට ඇති අතර, සමකාලීන වෙනස්කම් කිරීම් තුළින් සාමය සහ සමාජ ස්ථාවරභාවය සඳහා වන අපගේ ගවේෂණය වෙත ප්‍රධාන අභියෝගයන් එල්ල කරයි. වෛරී කථාවේ නොනවතින ආක්‍රෝෂ පරිභවය, ජාතිකවාදී ජනතාවාදය යළි ඉස්මතු වීම සහ වාර්ගික ආධිපත්‍යය පිළිබඳ මතවාදයන් ප්‍රවර්ධනය කරන සංවිධාන අප සැමට පරාජයන් ගෙන එයි. වාග් අලංකාරයෙබ් ඔබ්බට ගොස් මෙම ගැටළු විසඳීම සඳහා අප ඉදිරියට යන්නේ කෙසේද? මෙමඟින් මගේ මතකයට ගෙන එන අභාවප්‍රාප්ත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා පැවසූ වදන් මම උපුටා දක්වන්නෙමි.

    “කිසිවෙකුත් වෙනත් පුද්ගලයෙකුගේ සමේ පැහැය, පසුබිම හෝ ඔහුගේ ආගම නිසා වෛර කරමින් උපදින්නේ නැත. මිනිසුන් වෛර කිරීමට ඉගෙන ගන්නා අතර, ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමට ඉගැන්විය හැකිය. මක්නිසාද යත්, ආදරය ඊට ප්‍රතිවිරුද්ධ දෙයට වඩා ස්වභාවිකවම මිනිස් හදවතට පැමිණෙන බැවිනි.”

    • උපුටා ගැනීම අවසන්

    සභාපතිතුමනි, අපගේ බොහෝ ගැටලුවලට මූලික හේතුව වන්නේ, පෞද්ගලික අභිමතාර්ථයන් ඇති පාර්ශ්වයන් විසින් වෛරය ප්‍රචාරය කිරීමයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නොවන, අප පෙනී සිටින මානව සාරධර්ම ආරක්ෂා නොකරන අභිමතාර්ථයන් වන අතර, ඔවුන්ගේ අභිමතය පරිදි පහසුම දේශපාලන මෙවලම වන ‘වෛරයේ’ මානව ආවේගය භාවිතා කරමින් ඔවුන්ගේම අස්ථානගත වූ මතවාදයන් පෝෂණය කරනු ලැබේ. ජාතිවාදය, භීතිකාව සහ විවිධ ආකාරයේ වෙනස්කම් කිරීම් හේතුවෙන් පැන නඟින වෛරය, සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස පුළුල් ලෙස භාවිතා වේ. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ අපි, දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දුක්ඛිත තත්ත්වයන් ඇති කරමින්, මේ සඳහා යොදා ගන්නා එම ජනතාවගේම සමාජ-ආර්ථික සංවර්ධනය අඩාල කරමින්, අවදානමට ලක්වූවන්ගේ මනසෙහි වෛරයේ බීජ රෝපණය කළ ආකාරය පළමුවෙන්ම සමීපව අත් දුටුවෙමු. ඔවුන්ගේ වාසනාවකට මෙන්, රට දැන් එම අදියරෙන් ඔබ්බට ගොස් ඇති අතර, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති පරිදි පීඩාවට පත් ජනතාවට ශ්‍රී ලාංකික පවුල තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කරනු ලැබේ.

    බහු වාර්ගික, බහු-ආගමික හා බහු සංස්කෘතික රටක් වන අපි, ‘ජීවත් වෙමින්, ජීවත් වීමට ඉඩ දෙමු’ යන සංකල්පය වැලඳගෙන සිටිමු. මිනිස් ජීවිතයේ වටිනාකම හඳුනා ගන්නා අතරම ආදර කරුණාව, සමාව දීම සහ අනුකම්පාව යන බෞද්ධ මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන්නෙමු. කලක් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ලෙස හැඳින්වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කරන ලද්දේ, ඔවුන්ට ද ප්‍රයෝජනවත් පුරවැසියන් ලෙස රටේ සංවර්ධනය සඳහා දායක විය හැකි බැවිනි. මෙය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ධෛර්යයක් ලැබුණේ කෙසේදැයි බොහෝ දෙනෙක් විමසා ඇත.

    සත්‍ය වශයෙන්ම, වෙනත් රටවල දැකීමට දුර්ලභ තරමේ පුරුද්දක් වන, හිටපු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කර නැවත සමාජයට මුදා හැරියේ කෙසේද යන්න පිළිබඳව මගේ විදේශීය සගයන් මගෙන් පෞද්ගලිකව විමසා තිබේ. මෙය ශ්‍රී ලංකාව සමානාත්මතාවය යළිත් වරක් ඇති කර ගෙන, අපට ලැබිය යුතු සදාකාලික සාමය ගෙන ඒම සඳහා තවත් අතිරේක දුරක් ඉදිරියට ගමන් කිරීමක් නොවේද? එයින් අදහස් කරන්නේ වෙනස්කම් කිරීම තුරන් කිරීම සහ එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම නම්, අපි අඛණ්ඩව එම අතිරේක දුරවල් ඉදිරියට යන්නෙමු.

    කණගාටුවට කරුණක් ලෙස, ශ්‍රී ලංකාවේ අප රටේ සියලු ජනතාව සඳහා සංවර්ධන ප්‍රතිපත්තිවල කේන්ද්‍රයේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ දශකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන විට, විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රචාරය කරනු ලබන වෛරය හා බැඳී ඇති බාධාවන්ට අපි දිගින් දිගටම මුහුණ දෙන්නෙමු. ඊටත් වඩා කණගාටුදායක කාරණය නම්, ජාත්‍යන්තර ආයතනවල අධිකාරීන් සහ අපේම ගෝලීය ප්‍රජාවේ කොටස් විසින් කරුණු සම්පූර්ණයෙන් විකෘති කිරීමයි. එමඟින් නිසැකවම උණුසුම නැති වෙමින් පවතින වෛරයේ ගින්නට ඉන්ධන එකතු කරයි. ස්වකීය ජනතාවගේ යහපත ගැන සැලකිලිමත් වීම සහ ඉදිරියට යාමේ ප්‍රගතියක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවනු ලැබේ. එවැනි විදේශීය ක්‍රියාමාර්ගයන් අප දැනටමත් ලබා ඇති ප්‍රගතිය නතර කිරීමට උපකාරී වනු ඇති බවට සැකයක් නැත.

    තම භූමිය තුළ ඒවායෙහි පැවැත්ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බොහෝ රටවල පවතින ජාතිවාදය හා වෙනස් කොට සැලකීම සම්බන්ධ සැබෑ ගැටළුවලට විසඳුම් සෙවීමේ දී, අප එකතැනක නතර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී ඉස්මතු වේ. කළු හෝ සුදු හෝ වේවා මිනිස් ජීවිත වැදගත් වේ. මා කියවූ සමහර පුවත්පත් ලිපිවල කොටස් උපුටා දැක්වුවහොත්, ‘වඩාත් කාරුණික වූ වර්ගවාදය’, ‘මෘදු අසමානතාව’ සහ ‘ගැටලු පෙර පැවති තරම් නරක නැත, එබැවින් ජීවිතය විශිෂ්ටයි’යන්නෙන් අදහස් වන්නේ එය ද?

    හිතවත් මිත්‍රවරුනි,

    සමානාත්මතාවය යලි තහවුරු කිරීම සහ වර්ගවාදය, භීතිකාව සහ වෙනස් කොට සැලකීම තුරන් කිරීම සඳහා අපගේ උදාර මාවත අනුගමනය කරන අතරම, අපට අත්දකිමින් ජීවත් වීමට සිදුවන අධිපතිවාදී හැසිරීම ද ජීවිතයේ සත්‍යයක් ලෙස පවතිනු ඇති බව පෙනේ. අප එවැනි ප්‍රශ්නවලට සැබවින්ම පිළිතුරු සපයා ගෙන තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට නම්, අපව හසුරුවන දේශපාලනය හා බැඳුණු නොවටිනා ජනවාර්ගිකත්වය පසෙකට දමා, අපට ජාත්‍යන්තර ප්‍රජාව ලෙස යථාර්ථවාදීව සාක්ෂාත් කරගත හැකි දේ දෙස බැලිය යුතුය.

    අභාවප්‍රාප්ත ජනාධිපති මැන්ඩෙලා මැතිතුමාගේ ප්‍රකාශයක් නැවත උපුටා දක්වමින් මම අවසන් කරමි.

    “අපේ ලෝකය ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම අනුව බෙදී නැත. අපේ ලෝකය බෙදී ඇත්තේ ඥානවන්ත හා අඥාන මිනිසුන් ලෙසය. අඥාන අය ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම අනුව බෙදී සිටිති.”

    • උපුටා ගැනීම අවසන්

    ඒ අනුව, සභාපතිතුමනි, ඔවුන්ගේම මානව හිමිකම් සැලසුම්වලට අනුව, ජාතිවාදය, භීතිකාව සහ ඕනෑම ආකාරයක වෙනස්කම් කිරීම, අවතක්සේරු කිරීම ඉවත දැමිය නොහැකි ලෙස අත්‍යවශ්‍ය වනඔවුන්ගේම පාලන තන්ත්‍රයන් ගොඩනඟා ගන්නා ලෙසට මම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.

    ස්තුතියි.

    Latest News