ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් මාලි රාජ්‍යයේදී ඇගයීමට

පෙබ 23, 2021

    ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පෙබරවාරි මස 04 දින මාලි රාජ්‍යයේදී පැවති උත්සවයකදී එරට ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හී නිරත වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම (Combat Convoy Company) මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ඇන්ටන් ඇන්ට්හෙව් ගේ (විශ්‍රාමික) (Lieutenant Colonel (Retd) Anton Antvhev) පැසසුමට ලක් කළේය.

    එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හී නිරත වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම විසින් සිදුකරන මෙහෙයුම් පිළිබඳ තවදුරටත් ඇගයීමට ලක්කළ එතුමන්, වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ මෙහෙයුම් හැකියාව රඳාපවත්වා ගනිමින් මෙහෙයුම් විධිමත්ව පවත්වාගැනීම වැදගත් බවයි.

    එසේම, සිවිල් වැසියන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වලට ආරක්‍ෂාව සැපයීම හා ප්‍රවාහන පහසුකම් සඳහා ඉටුකරන මෙහෙවර එහිදී අගය කළේය. සංවිධානාත්මක පහරදීම්, සන්නද්ධ ප්‍රහාර, සැඟවී සිට පහරදීම් හා පුපුරණ ද්‍රව්‍ය ස්ථානගත කිරීම් යන ඉතා තර්ජනාත්මක තත්ත්වයන්වලදී ආරක්‍ෂාව තහවුරු කිරීමේ කටයුතු මනාව සැලසුම් කරගැනීම මෙහි ඇති කැපීපෙනෙන සාධකය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ සඳහා කැපවී ක්‍රියාකරන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම විසින් රථවාහන ආරක්‍ෂණ මෙහෙයුම් සඳහා සිදුකරන අගනා සේවය හා එහි ඉහළ වෘත්තීමයභාවය මෙහිදි සුවිශේෂි ඇගයීමකට ලක් කෙරිණි.

    එතුමන් එම ස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම ඉතා ඉහළ විනයකින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන බව සඳහන් කිරීම සඳහා අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් ද තබන ලදී.

    මෙම නිදහස් දින උළෙලේදී ජාතික ධජය හා අනෙකුත් ධජ එසවීම, රජයේ විශේෂ පණිවිඩය කියවීමත්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීමෙන් අනතුරුව රැස්ව සිටි සියලුදෙනාම විශේෂ තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ. එය ශ්‍රී ලාංකීය ආහාරපාන වලින් සමන්විත විය.

    මෙම උත්සව අවස්ථාව සඳහා සංග්‍රාමික යුද්ධ හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

    Latest News