පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අද ශ්‍රී ලංකාවට

පෙබ 23, 2021

    දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (23) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    පාකිස්තාන අගමැතිවරයා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    මේ අතර ව්‍යාපාර හා ආයෝජන සංසඳයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට තිබෙන අතර අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව අද (23) දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අගමැතිවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිතයි.

    පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

    අගමැති ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු ඇමැති මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අගමැති උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් මහත්වරු සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    මෙම වසරේ දී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේ ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා වන අතර මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමින ජිනීවා මානව හිමිකම්‌ සමුළුවේ දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට පාකිස්තානය දැනටමන්‌ එකඟතාවකට පැමිණීම හේතුවෙන් පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අංශ කිහිපයකින්‌ම දෙරටට වැදගත් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

    Latest News