ජනතාවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්; සජිත් (වීඩියෝ)

ජන 26, 2019

    නිවාස නොමැති අසරණ ජනතාවට නිවාස සිහිනය සැබෑ කරන යහපාලන රජයේ උදා ගම්මාන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට යන විට එය බලා සිටිය නොහැකිව ජනතාව ප්‍රතික්ෂේප කළ විරුද්ධවාදී කණ්ඩායම් අසත්‍ය චෝදනා එල්ල කරමින් එම ජනතාවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමණ්ත්‍රණයක යෙදී සිටින බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    උදා ගම්මානවල ඉදිකරන නිවාස සඳහා වැයවන මුදල් හා උත්සව සඳහා වැයවන මුදල් පිළිබඳව අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් විරුද්ධවාදීන් විවිධ චෝදනා ගැරහුම් එල්ල කළද, නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදලට අමතරව ප්‍රතිලාභී පවුල් සදහා ලක්ෂ ගණනක ඉඩම් කැබලි නොමිලේ ලබා දීම, අංග සම්පූර්ණ නිවස ඉදිකිරීම සඳහා විවිධ අයුරින් උදව් උපකාර ලබා දීම සහ පිරිසිදු පානීය ජලය, විදුලිය, මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් සපයා දී අංග සම්පූර්ණ උදා ගම්මාන ඉදිකරන බවද එම පිරිසට තමන් ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එදා යහපාලන රජය බලයට පත් නොවුණානම් රාජ්‍ය සම්පත්, වරදාන හා වරප්‍රසාද සියල්ල රටේ ජනතාවට ලබා නොදී හිටපු පාලකයින් භුක්ති විඳිමින් සිටින බවත්, රට තුළ නැවත ඒකාධිපතීත්වයකට හා ආඥාදායකත්වයකට කිසිවිටක ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ ඉදි වූ “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (25) දින සහභාගී වෙමින්. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 158 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

    නිවාස 27 කින් සමන්විත “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 316 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

    “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 324 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 7 දෙනෙකුට රුපියල් ලක්ෂ 48 ක් වටිනා ‘විරු සුමිතුරු’ නිවාස අධාර, කුරණ උදාකළ ගම්මානයේ පවුල් 38 කට රුපියල් ලක්ෂ 195 ක් වටිනා නිවාස ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම හා ප්‍රාදේශීය කලාකරුවන් 9 දෙනෙකුට රුපියල් 90,000 ක් වටිනා වෛද්‍ය ආධාර ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක්ද සහභාගී වූහ.

     

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:47

    Latest News