කොළඹ වරාය ආනයන භාණ්ඩ නිෂ්කාශන කටයුතු විද්‍යුත් ක්‍රමවේදයන් ඔස්සේ

ජන 24, 2021
    කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්්‍යුත් ගෙවීම් ලෙසින් (e-payment) සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.
    වරාය භාවිත කරන්නන් හට සිය නිවෙස්වල හෝ ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයන්ගේ සිට සිය ගෙවීම් සිදුකර, කොළඹ වරාය පරිශ්‍රයේ  නිෂ්කාශන කටයුතු සිදුකර ගැනීමට මේ තුළින් අවකාශය සලසා තිබේ. 
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැංවෙන මෙම විශේෂ පහසුකම් තුළින් වරාය භාවිත කරන්නන්, ප්‍රේෂණලාභීන් හට කිසිදු අපහසුතාවයකින් තොරව සිය වරාය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදු කිරීමට අවකාශය සලසා තිබේ. කොවිඩ් අධි වසංගත තත්ත්වය හමුවේ කොළඹ වරායේ සියලුම පර්යන්ත සියලු පාර්ශවකරුවන්ගේ සේවාවන් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් සෑම විටම කැපවී සිටියි. මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් සියලුම පර්යන්ත උපායමාර්ගික අර්බුද කළමණාකරණ සැළැස්මක් ක්‍රියාවට නංවමින් වරාය මෙහෙයුම් නිසි පරිදි පවත්වා ගැනීමට සමත්ව තිබේ.
    ඒ අනුව, රජයේ සෞඛ්‍යාරක්‍ෂිත රෙගුලාසී වලට අනුකූලව කටයුතු කරමින් වරාය සේවක මහත්ම මහත්මීන් සහ වරාය භාවිත කරන්නන් මෙම අධි වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂා කිරීමට සියලු පියවර ගෙන ඇති අතර, ආනයන භාණ්ඩ නිෂ්කාශන කරන්නන්ගේ සේවාවන් වඩා සඵලදායි ලෙස කඩිනමින් ඉටු කිරීමට මෙලෙස අන්තර්ජාල මගින් ගෙවීම් පහසුකම් සලසා තිබේ. 
    පූර්ණ හා අර්ධ බහලු (Full Container Load / Less Container Load) නිෂ්කාශනය කිරිමේ දී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදුකිරීමට අදාල නිෂ්කාශන ආයතන (Clearing agency) හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවිය වන www.slpa.lk  වෙත පිවිස සිය සේවාවන් ඉටු කර ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.

    Latest News