ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2ක් දැලේ

ජන 22, 2021

    දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රබල ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    මොවුන් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය හා ශ්‍රී ලංකාව සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයක කොටස්කරුවන් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. රුපියල් කෝටි 10 වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලාංකික ට්‍රෝලර් යාත්‍රාවක් පසුගිය නොවැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ, ඉන්දු-ලංකා ඒකාබද්ධ වෙරළාරක්‍ෂක මෙහෙයුමක් මගින්. යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට පත්විය. මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය කළ වැඩිදුර පරීක්‍ෂණවලදී හෙළි වූයේ තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි.

    ඔවුන් අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකරුවන් බව ද පරීක්‍ෂණවලදී සොයා ගනු ලැබීය. තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර දී ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා අද කොටු කරගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රකාශ කළේය.

    ඔවුන් එම්.එම්.එම්.නවාස් සහ මොහොමඩ් අෆ්නාස් ලෙස හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු කලාපයේ දී ධීවර යාත්‍රා යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලය මොවුන් විසින් මෙහෙයවා ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

    Latest News