සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ (වීඩියෝ)

ජන 22, 2021
  • සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් අද (22) ආරම්භ කෙරිණ.

    විශාලතම ආයෝජන සිදු කෙරෙන රජයේ උසම කාර්යාල සංකීර්ණය මෙයයි. බහු මහල් නව කාර්යාල සංකීර්ණය ස්ථාපනය කෙරෙන්නේ, ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන කලාපය කේන්ද්‍ර කර ගනිමින්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ, සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණය ඉදි කෙරේ.

    මහල් 25කින් යුත් වර්ග අඩි මිලියන 1.37කින් සමන්විත මීට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 16.7ක්. නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත මෙහි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් පවතී.

    මේ සම්බන්ධ පූර්ණ හිමිකම සහ මූල්‍ය දායකත්වය දරන්නේ, නාගරික සංවර්ධන අධිකාරියයි. වාණිජ සහ බැංකු කටයුතු, ආපන ශාලා, රැස්වීම් ශාලා, රථගාල් මෙන්ම ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයකින් ද නව පරිපාලන සංකීර්ණය සමන්විතයි. සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් වසර තුනහමාරකින් අවසන් කිරීමට නියමිතයි.

    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සුරනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 00:04

    Latest News