කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

ජන 22, 2021
  • ප්‍රවීණ ජනමාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද (22) අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 99ක්. එඩ්වින් ආරියදාස මහතා කලක් රෝගාතුරව පසුවිය. මෙරට මාධ්‍ය ක්‍ෂෙත්‍රයට ඔහු ඉමහත් සේවයක් ඉටුකර තිබේ. 1922 දෙසැම්බර් 3 දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ආරියදාස මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ල බොනවිස්ටා පාසලෙන් හා මහින්ද විද්‍යාලයෙන්.

    එවකට යුනිවසිටි ඔප් සිලෝන් යනුවෙන් හැඳින් වූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1945 වසරේදී සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ උපාධිය ලබාගත් ආරියදාස මහතා 1949 වසරේදී මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ විය.

    ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ හා ජනතා පුවත්පත්වල කතෘ මණ්ඩලයේ සේවය කළ ආරියදාස මහතා පසුව වඩාත් ජනප්‍රිය වූ නවයුගය විද්‍යා පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද සේවය කළේය.

    ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය ඇරඹීමට මුල් වූ පුරෝගාමී චරිතයක් ලෙස සැලකේ. කැලණිය, කොළඹ හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය උපාධි පාඨමාලා සැකසීමට ඒ මහතාගෙන් ලැබුණු දායකත්වය ඉමහත්.

    ආයතන රැසක උපදේශක තනතුරු හෙබවූ ආරියදාස මහතා ජනමාධ්‍ය පමණක් නොව, විද්‍යා හා පාරිසරික ක්‍ෂේත්‍රවලට ද වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.

    මෙරට ප්‍රථම විදෙස් විත්ති විචාරකයා ලෙස ද ඒ මහතා ගෞරවාදරයට පාත්‍ර විය. කලාකීර්ති ඇතුළු ගෞරව සම්මාන රැසකින් ආචාර්ය ආරියදාස මහතා පිදුම් ලබා තිබේ.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 00:07

    Latest News