පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ හා ආරක්ෂක අංශයේ 9කට කොරෝනා

ජන 17, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු සේවයේ නියුතු කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමේ වැඩසටහනක් පසුගිය 13 හා 15 යන දිනවල දී පාර්ලිමේන්තු සංකීරණයේ දී සිදුකෙරිණ.

    මෙම පීසීආර් පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරුන් 32ක් හා කාර්ය මණ්ඩලය,පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ හා ආරක්ෂක අංශවලට අයත් 911ක් ඇතුළුව 943 දෙනෙක් පරීක්ෂණයට භාජනය කෙරිණ.

    මේ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාධිත නොවන බවට තහවුරු වී තිබේ.

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු ද, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු හා පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා නියුක්ත තිදෙනෙක් ලෙස 9 දෙනෙක්ට වෛරසය ආසාධිත බවට තහවුරු වී තිබේ.

    මෙම පරීක්ෂණයට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය,සෙසු කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් අහඹු ලෙස තෝරාගෙන, සතියකට වරක් පීසීආර් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යැවීමේ වැඩසටහනක්ද, ක්‍රියාත්මක කරන ලද අතර එම වැඩසටහන යටතේ 200 දෙනෙකු පමණ පරීක්ෂණයට ලක්කර ඇතත්, ඉන් කිසිවෙකු හෝ ආසාධිත නොවන බව තහවුරු කර තිබේ.

    කොවිඩ් තත්වය යටතේ පාර්ලිමේන්තුවේ කිසිඳු කාර්යාලයක් මේ වන විට වසා දමා නොමැති බව ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවස්ථා කිහිපයකදීම විෂබීජානුහරණයට ලක් කර ඇති අතර ආසාධිත බවට හඳුනාගත් පුද්ගලයන් සහ සමීප ආශ්‍රිතයන් සේවය කළ ස්ථාන නැවත විෂබීජානුහරණය කිරීමට මෙන්ම සමීප ආශ්‍රිතයන් බවට හඳුනාගත් පුද්ගලයන් සීමා කිරීමට පියවර ගෙන ඇති බව ද වේත්‍රධාරී පවසයි.

    Latest News