මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් සම්පාදිත ග්‍රන්ථ 2564ක් දළඳා සමිඳුන්ට පූජා කරයි

ජන 15, 2021

    මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන්, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යාවන් විසින් සම්පාදිත ග්‍රන්ථ 2564ක් අද (15) දළඳා සමිඳුන් වෙත පූජා කෙරිණ.

    එම ග්‍රන්ථ සම්පාදනය කරනු ලැබ ඇත්තේ, සම්බුද්ධ පරිනිර්වානය සිදුවී වසර 2564ක් පිරීම හා මහාමායා බාලිකා විද්‍යාලයට වසර 89ක් පිරිම නිමිත්තෙන්.

    "මහාමායා පන්හිඳෙන් දළඳා උපහාර" තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධාන කර තිබිණ. කොරෝනා වසංගතයත් සමඟ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් ප්‍රධාන වැඩසටහනක් වූයේ "රටක් වටින පොතක්" සංකල්පයයි.

    එය ආදර්ශයට ගනිමින් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන්, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යාවන් මෙම ග්‍රන්ථ රචනා කර තිබේ. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය වෙත විශේෂ පෙරහරකින් ගමන් කිරීමෙන් අනතුරුව සියලු ග්‍රන්ථ දළඳා සමිඳුන් වෙත පූජා කරනු ලැබීය.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ආගමික වතාවත් මෙහෙයවනු ලැබූ අතර, උන්වහන්සේ කෙටි අනුශාසනාවක් ද සිදු කළේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ. අනතුරුව ග්‍රන්ථ එළිදැක්වීම සඳහා මහාමායා බාලිකා විද්‍යාලයේ උත්සවයක් සංවිධාන කර තිබිණ.

    එහි ප්‍රධාන ආරාධිතයන් වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර යන මහත්වරුන්.

    මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි දුලානි සමරකෝන් මහත්මිය පළමු ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගැන්වූවාය. ග්‍රන්ථ 2564ක් රචනා කිරීමේ මෙම වැඩසටහන ගිනස් ලෝක වාර්තාවක් ලෙස නම් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

    Latest News