වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්

ජන 14, 2021

    වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ.

    වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව, සංචාරක අමාත්‍යංශය, පළාත් සභා හා පලාත් පාලන ආයතන සමග එක්ව මෙම නව වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය කමිටු රැස්වීමට ඊයේ (13) සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණ.

    මොණරාගල දිස්ත්‍රික්කයට ජාතික වනෝද්‍යාන 4 ක් අයත් වේ.

    යාල, ලුණුගම්වෙහෙර, ගල්ඔය හා උඩවලව ජාතික වනෝද්‍යානය එම වනෝද්‍යානයි.

    මෙම වනෝද්‍යාන වල සංචාරක ආකර්ෂණ ස්ථාන පරිසර හිතකාමි සංචාරක ස්ථාන ලෙස ප්‍රවර්ධනය සදහා මේ වසරේ දී රුපියල් මිලියන 600 ක් වෙන් කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි කිවේය.

    මොණරාගල දිස්ත්‍රික්කයේ වඩාත් ප්‍රචලිත සංචාරක ආකර්ශණීය ස්ථාන 52 ක් තිබේ.

    ප්‍රචලිත නොවන සංචාරක ස්ථාන 87 ක් හදුනා ගෙන තිබේ.

    නව සංචාක ස්ථාන ප්‍රචලිත කිරීමේ රජයේ වැඩ පිලිවෙල යටතේ එම සංචාරක ස්ථාන ප්‍රවර්ධනයටද ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.

    වනජීවී කලාප ආශ්‍රිතව සංචාරකයන්ට ගමන් කිරීමට ඇති මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, සංචාරක නිවාස ප්‍රතිසංස්කරණය, මේ වසර තුල සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි කිවේය.

    වැල්ලවාය නගරයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කෙරේ.

    පාරිසරික, කෘෂි, අධ්‍යාත්මික වැනි නව සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය සදහා මේ වසරේදි වැඩි අවධානයක් යොමු කිරීමට අපෙක්ෂිත බවද ඇමතිවරයා මෙහිදි කිවේය.

    කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි කියා සිටියේ මේ වසරේ මොණරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා රුපියල් මිලියන 1500 ක් වෙන් කර ඇති බවයි.

    මේ වසරේ මෙරට ඉදිවන එකම ආර්ථික වෙළද මධයස්ථානය ඉදිකෙරෙන්නේ ද මොණරාගල දිස්ත්‍රික්කයේයි.

    කෘෂි නිෂ්පාදන මිලිදී ගැනීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක්ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකෙරේ.

    පළතුරු වගා කරන ගොවීන් සදහා ලක්ෂ 5 ක මුදලක් ලබා දීමට පියවර ගැනේ. පළතුරු වගාව ප්‍රචලිත කිරීමට රජය මේ වසරේ වැය කරන මුදල රුපියල් මිලියන 600 කි.

    මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 62,717 ක වී වගා කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 148,790 ක අස්වැන්නක් ලැබේ. හෙක්ටෙයාර 42,631 ක බඩ ඉරිගු වගා කර ඇති අතර මෙට්‍රික් ටොන් 176,853 ක අස්වැන්නක් ලබා ගනී. කුරක්කන්, මුං, කව්පි වැනි ධාන්‍ය ‍භෝගත් තල, රටකජු හා සෝයා වැනි තෙල් හා මංශ භෝගත් කහ, ඉගුරු වැනි අපනයන කෘෂි භෝගත් මොණරාගල ප්‍රධාන වගාවන් වේ.

    ඊට අමරතව අල, දෙහි, මිරිස්, එළවලු හා පළතුරු වලටද ගොවින්හූ යොමු වී සිටිති. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ සියළු ගොවීන්ට රජය මගින් අවශ්‍ය සහාය ලබා දෙන බවයි. දිවයින පුරා අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි වැට ඉදිරීමටද මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000 කි. මේ යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් 168 ක අලි වැට ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

    මේ වසර තුල එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි. අලි වැට නඩත්තුවට සදහා ද අවශ්‍ය උපකරණ ලබා දීමටත් පළාත් පාලන ආයතන සහය ඒ සදහා ලබා ගැනීමට මෙහිදි තීරණය කෙරිණ. දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු සදහා කඩිනමින් විසදුම් ලබා දෙන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා මෙහිදි කිවේය. 2019 – 2020 කාලය තුල ඉඩම් දීමනා පත්‍ර 3569 ක් ලබා දී ඇති බවත් තවත් දිමනා පත්‍ර 3613 ක් ලබා දීමට නියමිත බවත් මෙහිදි හෙලිවිය.

    මේ වන විට දිසත්‍රික්කයේ වැව් 30 ක මිනුම් කටයුතුද අවසන් කිරීමට නියමිත බවයි. මෙම සාකස්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී වන විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුමේදා ජයසේන යන මහත්ම මහත්මින් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුලු රාජ්‍ය නිලධාරීහූ සහභාගී වුහ.

    Latest News