ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ සැකකරු රිමාන්ඩ්

ජන 13, 2021

    මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිද දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත ඉදිරිපත් කෙරිණ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත් කර තිබෙන බවයි.

    මේ තුළින් ඔහු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බවද එම නිලධාරීන් සඳහන් කළේය.

    ඊට අමතරව මෙම සැකකරු ව්‍යාපාර රැසක් බිඳ වැටී තිබියදී ඔහු විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සැකකරුට කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද? යන්න පිළිබඳව විමර්ශන පවත්වන බව ද දැනුම් දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

    Latest News