මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට

ජන 12, 2021

    වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරේ.

    අම්පාර දිස්ත්‍රික්කයන් අද පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

    මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම සිදු කරනු ලබයි.

    පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙක්ගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මෙම වැඩපිළිවෙල තුළින් වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමට පියවර ගෙන ඇත.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

    දිවයින පුරා සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගොවි ජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට සියලු පියවර ගෙන ඇත. ඒත් සමඟම ගොවියන්ට වී ඇසුරුම් රජය මඟින් ඔවුන්ගේ අතටම ලබා දෙයි.

    සහල් හා වී මාෆියාව පරාජයට පත් කිරීමේ අරමුණෙන් මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක රජය සතු සංචිතයක් පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

    අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල මහ කන්නයේ අස්වනු නෙලීම් ආරම්භ කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් රජයේ වැඩපිළිවෙල අද මෙලෙස ආරම්භ කෙරේ.

    පළමු මිලදී ගැනීම අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී අද පස්වරු 3.30ට සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙවර මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 28ක් අපේක්ෂා කෙරෙන අතර,ඉන් ලක්ෂ 03ක් මෙලෙස රජයට මිලට ගනු ලබන්නේ.

    Latest News