ETI අධ්‍යක්ෂවරු යළි අත්අඩංගුවට

ජන 08, 2021

    ඊටීඅයි සමාගමේ අනාවරණය නොකරන ලද ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 680කට ආසන්න මුදලක් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ඊටීඅයි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.

    නීතිපතිවරයා විසින් රහස් පොලිසියට ඊයේ (08) දුන් උපදෙස් මත මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ බව නීතිපති සම්බන්ධීකාරක, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය ඊයේ (08) පැවසුවාය.

    මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ ඇත්තේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අයයි.

    මේ සැකකරුවන් සිව් දෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් නිසි පවතින අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස්දී තිබේ.

    මේ මුදල් ඔවුන් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බව කොමිසන් සභා නිර්දේශ වාර්තාව මඟින් හෙළි වන බවත් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    රුපියල් කෝටි 1,370ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා මත පසුගිය 6 වැනිදා මේ සිව්දෙනා අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත නිදහස් කෙරිණ.

    රුපියල් බිලියන කෝටි 1,370ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාර ගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ඊටීඅයි සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඉකුත් 5 වැනිදා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණ.

    දණ්ඩ නීති සංග්‍රහයේ 386/403/389 හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන් වැරැදි කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වන හෙයින් මොවුන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 05:31

    Latest News