කොවිඩ් 19 එන්නත ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා...ගෝලීය සන්ධානය පවසයි

ජන 05, 2021

    කොවිඩ් 19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇතැයි ගැවී සංවිධානය තහවුරු කරයි.  ගැවී සංවිධානය යනු එන්නත් හා ප්‍රතිශක්තීකරණය පිළිබඳ ගෝලීය සංවිධානයයි. 

    කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් වෙන් කෙරෙන අවස්ථාවේ අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට අදාළ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.

    කොවිඩ් 19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රටවල් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස හැදින්වේ.

    ඒ යටතේ ‍කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය සහ වැඩිදියුණු කිරීම කඩිනම් කෙරෙන අතර සෑම රටකටම එන එන්නත ලබාගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කෙරේ. ශ්‍රී ලංකාව දැනටමත් කොවැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී අවසන්.

    එමගින් කොවිඩ් 19 එන්නත් මාත්‍රා ලබාගැනීම පිණිස වන නිල සංවර්ධන සහය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බව, ගැවී සංවිධානය තහවුරු කර තිබේ.

     අදාළ එන්නත් පහසුකම් ලබාගැනීම සඳහා අදියර දෙකක් යටතේ ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් වෙත දැනුම් දෙනු ලැබීය.‍

    ඉලක්ක ගත කණ්ඩායමේ සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිලිබඳව තාක්ෂණික තොරතුරු ඇතුළත් අයඳුම්පතේ පළමු හා ඒ කොටස ප්‍රථමයෙන් සම්පූර්ණ කළ යුතුයි.

    පසුගිය දෙසැම්බර් 7 වැනිදාට පෙර එය ඉදිරිපත් කළ යුතුව තිබිණ. ශ්‍රී ලංකාව එම අයඳුම්පත් නිසි වේලාවට ඉදිරිපත් කර තිබේ.

    එහි දෙවැනි කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අවශ්‍ය වන්දි පූර්ණ ගිවිසුමට එළඹීම සඳහා ජනවාරි 8 වැනිදිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ දෙවැනි කොටස ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 05 ජනවාරි 2021 13:06

    Latest News