අමෙරිකානු ජනගහනයෙන් මිලියන 21කට කොරෝනා

ජන 04, 2021

    අමෙරිකානු ජනගහනයෙන් මිලියන 21ක් කොරෝනා වෛරස ආසාදිතයන් බවට පත්ව තිබේ.

    වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් අමෙරිකාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි. වැඩි වේගයකින් නව වෛරස ප්‍රභේදය අමෙරිකාවේ පැතිරයාම හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ.

    එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහස ඉක්මවා තිබේ. 2000කට ආසන්න පිරිසක් වෛරසය හේතුවෙන් දෛනිකව මියයන බවයි වාර්තා වන්නේ. ලොව දෙවනුවට කොරෝනා වෛරසයේ ප්‍රබල ලෙස බලපා ඇත්තේ ඉන්දියාවටයි. එරට එක් ලක්ෂ හතළිස් නව දහසකට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂ හතළිස් එක් දහස ඉක්මවයි.

    බ්‍රිතාන්‍යයේ ද කොරෝනා නව ප්‍රභේදය හේතුවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතියි. ගතවූ පැය 24 තුළ 54,990 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    සෙසු රටවලට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ නව ආසාදිතයන් වාර්තාවීමේ වේගය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව විසි හය ලක්ෂ පනස් හතර දහස ඉක්මවා තිබේ. ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අටකෝටි පනස් පන් ලක්ෂ විසි දහස ඉක්මවයි. ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාව දහ අට ලක්ෂ පනස් දහස් 607ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on සදුදා, 04 ජනවාරි 2021 12:44

    Latest News