ගල්කොරි හා පුපුරණ ද්‍රව්‍ය අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

දෙසැ 30, 2020

    මාවනැල්ල ගල් කොරියක තිබු පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග අප රටේ සියලු ගල්කොරිවල කටයුතු විදිමත් පරිදි අධීක්ෂණය සඳහා පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබා දීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කෙරේ. දිනකට කැඩිය හැකි කළුගල් ප්‍රමාණය අනුව වෙඩි බෙහෙත් නිකුත් කෙරෙන අතර මාවනැල්ල ගල් කොරියක තිබු පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග ඒවා වෙනත් බාහිර පාර්ශ්වයක් වෙත කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සඳහා ලබා දුන්නේද යන්න කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

    එපමණක් නොව ගල් කොරි ආශ්‍රිතව සිදු වෙන වෙනත් නීතිවිරෝධී කටයුතු මෙන්ම පරිසරයට හා ගල්කොරි අවට සිටින ජනතාවට හානි වන අයුරින් පිපිරවීම් සිදු කරන්නේද යන්න සොයා බැලීමත්, අනෙකුත් ගල් කොරිවල මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේද යන්නත්   අධීක්ෂණය සඳහා විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරියෙක් පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම නිලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්තව පත් කිරීමට නියමිතය.

    අද දින (30)  පෙරවරුවේ අප රටේ ප්‍රමුඛ පෑන් ඇතුළු ලිපි ද්‍රව්‍ය  නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් සමාගම සමග පරිසර හිතකාමී වැඩ පිළිවෙළවල් කිහිපයක් ආරම්භ කරමින් මාධ්‍ය අමතා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    Latest News