ජලාශ ආශ්‍රිතව වන සංරක්ෂණයට රුක් රෝපණය අරඹයි

දෙසැ 20, 2020

    කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශවල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල්රී ජලාශය අසළින් ආරම්භ කළේය.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ පිළිවෙළ ආරම්භ වූ අතර බොගවන්තලාව වැවිළි සමාගම ඊට පූර්ණ අනුග්‍රහය දත්වනු ලබයි.

    රජයේ මුදල් වැය නොකරමින් මුලුමනින්ම පුද්ගලික අංශයේ ප්‍රමුඛ සහයෝගය ලබා ගනිමින් මෙම රුක්රෝපණ වැඩ සටහන ආරම්භ කර තිබේ.

    ඒ සම්බන්ධව බොගවන්තලාව වැවිලි සමාගම හා පරිසර අමාත්‍යාංය විසින් එකඟතා පත්‍රයකට ද අත්සන් තබනු ලැබීය.

    ඊට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාත්, බොගවන්තලාව වැවිළි සමාගම වෙනුවෙන් එම සමාගමේ සභාපති දිනේශ් අම්බානි මහතාත් අත්සන් තබනු ලැබීය.

    පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “හුස්මදෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩ පිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    එහිදී පැළ සිටුවීම පමණක් නොව සිටුවන සෑම පැළයක්ම රැක බලා ගැනීම සඳහා භාරකරුවෙක් ද පත් කරනු ලබයි.

    පසුගියදා කාසල්රී ජලාශය අසලින් ආරම්භ වු අක්කර 250ක ඉහළ ජලාධාර රුක් රෝපණ වැඩ සටහනේ දී සිටුවන සෑම පැළයක්ම වැඩෙන තුරු රැක බලා ගැනීම බොගවන්තලාව වැවිලි සමාගම යටතේ තිබෙන තේ වතුවල සේවය කරන සේවක සේවිකාවන්හට බාර කරනු ලැබීය.

    මෙම අවස්ථාවට එක් වූ පරිසර අමාත්යෙ මහින්ද අමරවීර මහතා කියා සිටියේ ගසක වටිනාකම තවමත් මේ රටේ බොහෝ දෙනෙක් හඳුනාගෙන නොමැති බවයි.

    අවසාන ගසත් කපා දමා, අවසන් මාලුවාත් ආහාරයට ගෙන අවසන් දිය ඇල්ලේ ජලයත් විෂ සහිත වූ විට පරිසරය විනාශ කරන මිනිසුන්ට මුදල් ආහාරයට ගත නොහැකි යැයි දැනෙනු ඇති යැයි ප්‍රසිද්ධ කියමනක් තිබෙනවායැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අද අපේ රටේ සමහරු මුදල් තණ්හාවට සිදු කරන පරිසර විනාශය දකින විට තව වසර කිහිපයකින් අපේ රටේ මිනිස්සුන්ටත් ඔක්සිජන් බෑග් පිටේ දාගෙන යන්නට සිදු වෙනවා.

    දැනටමත් ලෝකයේ කාර්මීකරණය නිසා පරිසරය විනාශ කර ගත් නගරවල ජනතාව පිරිසිදු හුස්ම ටිකක් ගන්න බැරිව අනන්ත දුක් විඳිනවා. ඒ අය දැන් නගරවල කර්මාන්ත ශාලා ඉදි කිරීම අත් හැරලා වනාන්තර වවමින් සිටිනවා.

    අපි අපිට තිබෙන මේ අතිශය වටිනා ස්වාභාවික සම්පත් ටිකවත් රැක ගැනීමට කටයුතු නොතළහොත් අනාගතයේ සිදුවිය හැකි විනාශය මුදලින් තක්සේරු කළ නොහැකියි.

    කොවිඩ් 19 වැනි ලෝකයම දින කිහිපයකින් ගිල ගත් ඇහැටවත් නොපෙනෙන වෛරස වැනි දරුණු විෂබීජ පැතිර යන්නේ මිනිසා සොබාදහම ඉක්මවමින් සොබා දහම නොසළකා හැරීමේ ප්රනතිපලයක් නිසයි.

    ගෝලීය උණුසුම ඉහළ යන විට කෘමිගහණය ඉහළ යාම හා වෙනත් ක්ෂුද්‍ර ජීවින් මට්ටම ඉහළ යනවා කියන කාරණය අලුත් දෙයක් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යාම වළක්වා ගැනීමට නම් අපි අපේ වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නංවාලිය යුතුයි. ඒ සඳහා කළ යුතු එකම දෙය වැඩි වැඩියෙන් රුක් රෝපණය කිරීමයි.

    බොගවන්තලාව වතු සමාගම ව්‍යාපාරික ආයතනයක් වශයෙන් මෙම රුක්රෝපණ වැඩසටහනට සහාය දීම අගය කළ යුතුයි. මේ රටේ තිබෙන සෑම ව්‍යාපාරික ආයතනයක්ම ඝෘජුව හෝ වක්‍ර පරිසරය විනාශ කරන්නට දායක වන බව පිළිගත යුතුයි.

    ඒ නිසා ඔවුන්ට තමන් විනාශ කරන පරිසරය නැවත සකසන්නට වැඩ පිලිවෙළත් ආරම්භ කිරීම හෝ පරිසර, වනජීවි වැනි අමාත්‍යාංශ ක්‍රියාත්මක කරන වැඩ කටයුතුවලට සහාය දෙන්නට යුතුකමක් තිබේ.

    අද බොහෝ ව්‍යාපාරික ආයතන එම තත්ත්වය පිළිගෙන තිබෙනවා. නමුත් තවත් ආයතනවල ඉළක්කය මුදල් ම පමණයි. ඒ අය පරිසර සංරක්ෂණයට දායක වන්නේ නැත්නම් නිති මගින් හෝ අපි ඊට අවශ්‍ය පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News