සුළු වැරදිවලට අදාළ බන්ධනාගාර රැඳවූවන් නිරෝධායනයට

දෙසැ 04, 2020

    සුළු වැරදි සම්බන්ධ බන්ධනාගාර ගත රැඳවූවන් කඩිනමින් පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර විධිමත් නිරෝධායන ක්‍රියාවලියකින් අනතුරුව සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අද (04) උපදෙස් ලබා දුන්නේය.

    ඒ කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවකදී.

    බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් මර්දනය සඳහා වන වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට බදුන් විය. සමාජගත කිරීමට නියමිත රැඳවූවන්ට නිරෝධායන කාලසීමාව තුළදී මානසික සෞඛ්‍යය වැඩිදුයුණු වන ආකාරයේ වැඩසටහන් හා දේශන සංවිධාන කිරීමට ද රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    සියලු බන්ධනාගාර තුළ සිදු කෙරෙන දෛනික පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව වැඩි කිරීම හා කඩිනම් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහයෝගයෙන් සිදු කිරීමට නියමිතයි. බන්ධනාගාර තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැරදිකරුවන් අට දහසක් පමණ දින 10ක් තුළ පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට‍ ද තීරණය කෙරිණ.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ඊට යොදා ගැනීමට අපේක්ෂිතයි. බන්ධනාගාර තුළ වෙසෙන කොවිඩ් ආසාදිත රැඳවූවන් මහර බන්ධනාගාරය වෙත යොමු කර අදාළ පහසුකම් සැපයීමට ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.

    මේ අතර මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවූවන් 11දෙනා අතරින්, කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සිරුරු නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු පෙත්සමක් ලබන 11 වැනි දින යළි කැඳවීමට වත්තල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින්. පෙත්සම අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ නියෝජනයක් සිදු නොවූ බැවින්, එය නැවත කැඳවීමට මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝගය කළේය.

    Latest News