"බුරවි"; ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට

දෙසැ 04, 2020

    "බුරවි" සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ක්‍රමයෙන් බලපෑම අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

    අද රාත්‍රී 10.00 තෙක් බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60-70ත් පමණ අගයක් ගතහැකි බවයි. එය වරින්වර පැයට කිලෝ මීටර 80 පමණ දක්වා වැඩිවිය හැක. එම නිසා අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    අද රාත්‍රී කාලය වනතෙක් පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තරය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ඉල්ලීමක් කෙරේ.

    පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2ක් හෝ 3ක් පමණ ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News