බුරවි කුණාටුවෙන් වැඩිම බලපෑම යාපනයට - පුද්ගලයන් 22,061ක් පීඩාවට

දෙසැ 04, 2020

    මෙරට උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වශයෙන් බලපෑ ‘බුරවි’ සුළි කුණාඩුව ඊයේ (03 වැනිදා) සවස් කාලයේ දී මන්නාරම සහ පූනරීන් අතර වෙරළට ආසන්ව පැවති අතර එය මන්නාරමට උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම අරඹා තිබිණි.

    දිවයිනට බලපෑ බුරවි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එක් අයෙකු අතුරුදන්ව පස් දෙනකු තුවාල ලබා පවුල් 13,052කට අයත් පුද්ගලයන් 43,814ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    සුළි කුණාටුවේ වැඩිම බලපෑම එල්ල වී තිබුණේ යාපනය දිස්ත්‍රික්කයටය.

    එම දිස්ත්‍රික්කයේ පවුල් 6553කට අයත් පුද්ගලයන් 22,061ක් පීඩාවට පත්ව සිටිති.

    දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යට වී තිබිණි.

    පේදුරුතුඩුව ප්‍රදේශයේ පමණක් නිවාස හානි 559ක් වාර්තා විය.

    යාපනය දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන නිවාස සංඛ්‍යාව 29කි.

    තවත් නිවාස 1266කට අර්ධහානි සිදුවී තිබේ.

    දිස්‍ත්‍රික්කයේ පවුල් 803ක පුද්ගලයන් 2845ක් සුබසාධන කඳවුරු 29ක රඳවා සිටින බව යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2236කට අයත් පුද්ගලයන් 7749ක් පීඩාවට පත්ව සිටිති.

    පවුල් 1778කට අයත් පුද්ගලයන් 6026 දෙනකු තාවකාලික සුබ සාධන මධ්‍යස්ථාන දහඅටක රඳවා සිටිති.

    මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 405කට අයත් පුද්ගලයන් 1149ක් පීඩාවට පත්ව ඇති අතර පවුල් 130කට අයත් පුද්ගලයන් 444ක් කඳවුරු හතරක රඳවා තිබේ.

    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 292කට අයත් පුද්ගලයන් 882ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 74ක පුද්ගලයන් 236ක් ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    දිස්ත්‍රික්කයේ නිවාස පහකට සුළු හානි සිදු වී තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (03 වැනිදා) වැසි ඇදහැළෙමින් තිබිණි.

    තවදුරටත් අද (04 වැනිදා) දිනයේ දී උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් අද (04 වැනිදා) දිනයේ දී ඇති විය හැකිය.

    කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකිය.

    එමෙන්ම, මීගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකක් තුනක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත්, මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    Latest News