මුතුරාජවෙල හෝටලයක් ඉදිකිරීමට ඉඩම් දී නොමැත - මධ්‍යම පරිසර අධිකාරිය

දෙසැ 03, 2020

    මුතුරාජවෙළ තෙත්බිමෙහි හෝටලයක් ඉදි කිරීමට අක්කර 600ක් ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැති බව පරිසර අමාත්‍යවරයා පවසයි.

    මුතුරාජවෙළ තෙත් බිමට අයත් අක්කර 600ක් හෝටලයක් ඉදිකිරීම සඳහා පුද්ගලික සමාගමකට ලබා දීමට මධ්යළම පරිසර අධිකාරිය විසින් අනුමැතිය දී ඇතැයි පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ඊයේ (02) මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිසර අධ්‍යනයක් සිදු කිරීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලබා දී ඇතත්, පරිසර අධ්‍යනය කුමක් කීවද, ඒ් සම්බන්ධව අවසාන තීරණය ගනු ලබන්නේ මහජනතාවගේ මතය විමසීමෙන් පසුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර කලාපයක් වන මුතුරාජවෙළ තෙත්බිම අභයභූමියක් වශයෙන් ගැසට් කිරීම සඳහා ඊට අයත් ඉඩම් ප්‍රමාණය මේ වනවිට මැණ අවසන් කර ඇති අතර ඊට මුතුරාජවෙළ තෙත් බිම අවසාන වන මෝය ප්‍රදේශය පවා ඇතුළත් කර තිබේ.

    මුතුරාජවෙළ තෙත් බිම් කලාපයට අයත් ඉඩම් මැන ගැසට් කිරීමෙන් පසුව කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට අයත් යැයි කියන කිසියම් ඉඩම් ප්‍රමාණයක් හෝ ගැසට් කළ ප්‍රදේශයට අයත් නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මුතුරාජවෙළ තෙත් බිම අභයභූමියක් වශයෙන් නම් කිරීම වැදගත් වන්නේ ඊට අයත් වපසරිය වෙන් කිරීම මගින් බවත් කිසිදු පුද්ගලයෙකුට මෙම වටිනා තෙත් බිම විනාශ කිරීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා වන නීතිමය පියවර ක්‍රමාණුකූලව අදියරෙන් අදියර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පරිසර අධ්‍යනයක් සිදු කිරීම යනු පවරාදීමක් නොවන අතර කිසියම් ඉදිකිරීමක් කළ යුතු වන්නේ පරිසර අධ්‍යන වාර්තාව මගින් පමණක් නොව ඒ සම්බන්ධව මහජන මතය විමසීමෙන්ද බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමනිසා මුතුරාජවෙළ තෙත් අභයභූමියේ හෝටලයක් සඳහා අක්කර 600ක් පවරා දීමට කටයුතු කර ඇතැයි, යන්න පදනම් විරහිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. සමරසිංහ යන මහත්වරු ද ඊට සහභාගීීවි සිටියහ.

    Latest News