'බුරවි' සුළි කුණාටුව ත්‍රිකුණාමලයට

දෙසැ 02, 2020

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වන විට ත්‍රිකුණාමලය කි.මී.330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    “බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

    සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 75 - 85 පමණ වන අතර විටින් පැ.කි.මී 95 දක්වා වැඩි වේ.

    මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී 200ට වැඩි වැසි ඇති වේ.

    මෙරටට බලපා හැකි කුණාටු තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අවදානම් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිනෙණ ලෙද ද දැනුවත් කර තිබේ.

    මේ අතර නැගෙනහිර පළාතේ සියලු පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා දින 3ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් ප්‍රකාශ කරයි. සුළි කුණාටුවක් ඇති වුවහොත් ඉන් පීඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිත කිරීමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි, ආණ්ඩුකාරවරිය පවසන්නේ.

    සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 80 -90 පමණ තද සුළං ඇති වේ.

    සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 70 පමණ තද සුළං ඇති වේ.

    Latest News