සා.පෙළ විභාගය ගැන දින 10ක් තුළ අවසන් තීරණයක්..

නොවැ 26, 2020

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සහ නියම කරගත් දිනයන්හි පවත්වන්නේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින දහය ඇතුළත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම සහ එහි ඉදිරි පසුබිම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින 11 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අදාල විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ මාර්ගගත ක්‍රමය යටතේ මේ වන විට කොතෙක් දුරට ආවරණය කර ඇතිද යන්න සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන් වෙතින් තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්ද සැලසුම් කොට ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    රට තුළ පවත්නා වාතාවරනය හමුවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ ‍අදහස් පළ කරන නමුත්, දිගින් දිගටම පාසල් වසා තබමින් දරුවන්ගේ අනාගතය වසා තැබීම කළ නොහැකි බවද, එයින් අදහස් වන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නොතකා හැර අධ්‍යාපනය ලබාදීමට පියවර ගැනීම නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එමෙන්ම පාසල් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳ පළාත් මට්ටමින් පූර්ව සාකච්ඡා සිදුකර, සෞඛ්‍ය අංශයන්හි පූර්ණ මැදිහත් වීම ද සහිතව, විදුහල්පතිවරුන් වෙත පාසල් මට්ටමින් පිහිටුවා ගන්නා සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමග සාකච්ඡා කොට වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නැංවීමේ බලයද පවරමින් මෙම තීරණය ගනු ලැබූයේ, වගකීම් විරහිතව නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    දරුවන් පාසල්වලට පැමිණීමේ වර්ධනයක් ක්‍රමිකව අපේක්ෂා කළ හැකි බව ද, පාසල් ආරම්භ කළ වහාම දරුවන් පාසල්වලට එවීමට දෙමව්පියන් පසුගාමී වීම මෙවන් පසුබිමක ස්වභාවික තත්ත්වයක් බවද, පැවසූ අමාත්‍යවරයා, සියලු පාසල් වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මධ්‍යම පළාත වෙනුවෙන් රුපියල් ලක්ෂ 65ක්, දකුණු පළාත වෙනුවෙන් ලක්ෂ 49 ක්, උතුරු පළාත වෙනුවෙන් ලක්ෂ 36ක්, නැගෙනහිර පළාත වෙනුවෙන් ලක්ෂ 46 ක්, වයඹ පළාත වෙනුවෙන් ලක්ෂ 56ක්, උතුරු මැද පළාත වෙනුවෙන් ලක්ෂ 30ක්, ඌව පළාත වෙනුවෙන් ලක්ෂ 38ක්, සබරගමුව පළාත වෙනුවෙන් ලක්ෂ 46 ක් වශයෙන් ලක්ෂ 370කට ආසන්න මුදලක් පාසල්වල සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම පිණිස ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    විවේචනවලට බිය වෙමින් කිසිවක් නොකර සිටීම දරුවන් වෙනුවෙන් කරන අසාධාරණයක් බැවින්, පවත්නා තත්වයට වගකීම් සහගතව මුහුණ දෙමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බවද , සියලු පාර්ශ්ව මෙහිදී සිදු කළ යුත්තේ අඩුපාඩු මගහැර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම නොපිරිහෙළා ඉටු කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

    Latest News