එජාපය දණ ගසන්නේ; පොදු ජනතාව ඉදිරියේ පමණයි

ජන 19, 2019

    මීළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න පිළිබඳ ඇතැමුන්ට ප්‍රශ්නාර්ථයක් වී ඇතත් අද රටේ ප්‍රමුඛතාව හිමිවිය යුතු ප්‍රශ්න වන්නේ දිළිදුකම පිටුදැකීම, ජනතාවගේ නිවාස ගැටලුව විසඳීම, තරුණ පරපුරට රැකියා සම්පාදනය, රට ආර්ථික වශයෙන් ඉහළ තලයකට ගෙන ඒම වැනි කරුණු සඳහා බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

    ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කතා කරමින් ජනතා අවධානය වෙනතක හැරවීමට තැත් කරන්නේ සුළුතර බඩගෝස්තරවාදී පිරිසක් පමණක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ දණ ගසා ආණ්ඩුව පිහිටවූ බවට විරුද්ධවාදීන් අද මාධ්‍ය ඉදිරියේ පවසන බවත්, මෙරට දැවැන්තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය කිසිදු පක්ෂයක් ඉදිරියේ කිසිවිට දණ නොගසන බවත් එක්සත් ජාතික පක්ෂය දණගසන්නේ රටේ පොදු ජනතාව ඉදිරියේ පමණක් බවත් අමාත්‍යවරයා පවසයි.

    පළාත් සභා, ජනාධිපතිවරණ හා මහමැතිවරණ වශයෙන් මැතිවරණ කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එම මැතිවරණ වලදී රටේ පාලකයින් ලෙස පත්කර ගත යුතු වන්නේ දේශපාලඥයින්ද නැතිනම් දේශපාලුවන්ද කියා මෙරට ජනතාව මිසක් තීරණය කළ යුතු බවද අමාතවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල, පල්ලේගම, මාඔය ප්‍රදේශයේ ඉදිවූ “විජයමිණිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (18) සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 153 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

    නිවාස 20 කින් සමන්විත “විජයමිණිගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 226 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

    “විජයමිණිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 80 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 105 කට රුපියල් ලක්ෂ 105 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 203 ක් සඳහා රුපියල් ලක්ෂ 104 වටිනා නිවාස ණය සහ ආධාර ප්‍රදානය, ප්‍රතිලාභීන් 120 දෙනෙකුට රුපියල් ලක්ෂ 600 ක් වටිනා ආදර්ශ ගම්මාන ණය ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 58 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. ඊට අමතරව ප්‍රාදේශීය කලාකරුවන් 3 දෙනෙකුට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 30,000 ක් වටිනා වෛද්‍ය ආධාර ප්‍රදානයද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක්ද සහභාගී වූහ.

    Last modified on ඉරිදා, 20 ජනවාරි 2019 08:00

    Latest News