විල්පත්තු ගැන තීන්දුවට එරෙහිව රිෂාඩ්ගෙන් අභියාචනයක්

නොවැ 21, 2020

    විල්පත්තු රක්ෂිතය ආශ්‍රීත කල්ලාරු වනාන්තර කලාපය එළිකරමින් සිදුකර තිබු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පල කළේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සිට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි දෙමින් ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

    එහිදි ජනාධිපති කොමිසමේ සමාජික කොමසාරිස්වරිය මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඔබ අවතැන්වුවන් නැවත පදිංචි කිරීම භාර සිටි අමාත්‍යවරයාව සිටියදි යුද්ධයෙන් අවතැන් වු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ නැවත පදිංචි කර ඇත්ද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ,

    " උතුරු පළාතේ 2% යි සිංහල ජනතාව ඉන්නේ, 5% මුස්ලීම් ජනතාව ඉන්නේ. එල්.ටී.ටී.යි. සංවිධානය යුධ සමයේ ලක්ෂයක් පමණ මුස්ලීම් ජනතාව තම ගම්බිම් වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේදි බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම් පටන් ගත්තේ. මම එවකට විශය භාර අමාත්‍යවරයා නෙමේ. නමුත් මම එම වැඩපිළිවෙළට සහය දුන්නා. මොනරාගල, හම්බන්තොට ආශ්‍රීතව ජිවත්වු සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. ඒ ප්‍රදේශ වලත් අවුරුදු 100 කට වඩා පැරණි විශාල ගස් තිබුණා. නැවත පදිංචි කිරීම් වලදි ඒ ගසුත් කැපුනා. නමුත් කවුරුත් ඒවාට විරුද්ධ පැමිණිලි කළේ වත්, පෙත්සම් දැම්මෙවත් නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු - කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම එහි ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. " යැයි මන්ත්‍රීවරයා විවෘත කොමිසම හමුවේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙමින් අදහස් පල කළා.

    කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන අවස්ථාවේ විල්පත්තු රක්ෂිතය ආශ්‍රීත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පසුගියද තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණය විනිසුරුවරුන් දෙපළ, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයෙකු ලෙස කොමිසම් සභාවේ අසුන් ගෙන සිටිම විශේෂත්වයක්.

    Latest News