ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ 02 වන අදියරේ ඉදිකිරීම් ඇරඹේ

නොවැ 04, 2020

    මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි ඊයේ (03) ආරම්භ කෙරිණ.

    අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම නිවාස ලබා දීමට නියමිතයි.

    නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එක් නිවසක් වර්ග අඩි 550 ක් වන සේ නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතයි.

    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,000 කි.

    වසර 2 1/2 ක් ඇතුළත මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

    අක්කර 12 ක භූමි භාගයක මෙම මහල් නිවාස ඉදිකෙරෙන අතර එහි පළවෙනි අදියර “මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය” ඉදිකර ජනතාව අතට පත්කර ඇත.

    එය නිවාස ඒකක 472 කින් සමන්විත වේ.

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5,500 ක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ 02 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

    මෙම අවස්ථාවට එක්වූ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී කොළඹ අසරණ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් මෙම නිවාස සංකල්පය ආරම්භ කළ බවයි.

    Latest News