මංගල, පාඨලී, හකීම්, ෆොන්සේකා ජනාධිපති කොමිසම පැහැර හැරී පුද්ගලයින්

ඔක් 26, 2020

    හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටීම පැහැර හැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා.

    ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය සහ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසමට කළ පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේදී.

    පැමිණිලිකරුවන් කොමිසමට කළ කරුණු දැක්වීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, එම්. ඒ. සුමන්තිරන් සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා.

    මීට අමතරව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම දූෂණ විරෝධී කමිටුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජයපාල යන මහත්ම මහත්මීන් ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    ඔවුන්ට අද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කළ ද ඔවුන් පෙනී සිටියේ නැහැ.

    සභාපති විනිසුරුවරයා සදහන් කළේ අදාල පුද්ගලයින් කොමිසම විසින් නිකුත් කළ නොතීසි නොසලකා හරින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

    එබැවින් ඔවුන් සියලු දෙනා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම මඟහැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව සභාපති විනිසුරුවරයා සදහන් කළා .

    කෙසේ වෙතත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අදාල පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දින හතක කාලයක් ඉල්ලා මෝසමක් ඉදිරිපත් කර තිබුණු අතර එම ඉල්ලීමද කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කලා.

    Latest News