දුමින්ද සිල්වා නිදහස් කරන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලති

ඔක් 26, 2020

    මරණ දඬුවම නියමවී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇත.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවෝ වූහ.

    ඒ අනුව ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූයේ 2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදීය.

    ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කෙරුණු අතර, අදාළ නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් විය.

    විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය සහ චරිත් මොරායස් මහතා සැකකරුවන් පස්දෙනා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් පස්දෙනාට මරණ දඬුවම්නියම කළහ.

    කෙසේ නමුත් ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් පස්දෙනා සියලු‍ චෝදනා වලින් නිදහස් කළේය.

     

     

    Latest News