මාළු කිලෝ 350,000ක් ධීවර වරායන්වල හිර වේ

ඔක් 26, 2020

    වසා දමා ඇති බේරුවල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 32 ක සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 මාළු කිලෝග්‍රෑම් තුන් ලක්ෂ පනස්දහසක් පමණ ගොඩබෑමට නියමිතව තිබෙන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.

    මෙම තත්ත්වය මත බහුදින යාත්‍රා තුළ තිබෙන තොග පාරිභෝගිකයාට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැළසුමක් කඩිනමින් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහට උපදෙස්දී තිබේ.

    ඒ, ඇමැතිවරියගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා (24 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

    දිවයින පුරා පිහිටා ඇති ධීවර වරායන් 20 ක් අතරින් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳසල සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් මේ වනවිට වසා දමා ඇත.

    ඒ අනුව, මෙරට ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    Latest News