කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4057ක්

ඔක් 26, 2020

    මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 3,803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4,057 දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.

    ඒ ඊයේ දිනය වනවිට මෙරටින් ආසාදිතයින් 351 දෙනෙකු වාර්තාවී තිබේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳෙපොළේ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර ඇත.

    තවත් පුද්ගලයින් තිදෙනෙක් විදේශීයව සිට මෙරටට පැමිණි අය වන අතර, පිලිපීන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් හා කටාර් ජාතික පුද්ලගයෙක් ඒ අතර වේ.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ වාර්තා වූ පළමු රෝගියාගෙන් පසු අද (26) උදෑසන වනවිට 4,400 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3,359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.

     

     

    කොවිඩ් දෙවැනි රැල්ලේ මුල මෙන්න

     

    මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ, තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

    මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

    මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය.

    එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වී ඇත.

    ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලය ද නිරෝධානය විය යුතුය.

    ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත.

    හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති.

    එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සළසා ඇත.

    නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති.

    හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

     

     

    පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

    විශේෂ කාර්ය බළකායේ එකොළොස් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවී ඇති අතර, ඒ සමග කැලණිය කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු හුදකලා කර තිබේ.

    කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වයිරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

    හුදකලා කළ කඳවුරු තුනේ සෙබළුන් හා නිලධාරීන්ට දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළුව සෞඛ්‍ය පිළිවෙත් යොදමින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

     

     

    කොවිඩ් - 19 අවදානම හේතුවෙන් තාවකාලිකව සේවා කටයුතු නවතා තිබු ගාල්ල, කොස්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

    අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් එම පොලිස් ස්ථානයේ කටයුතු ඊයේ (25) දිනයේ තාවාකලිකව අත්හිටුවනු ලැබීය.

    මේ හේතුවෙන් පොලිස් ස්ථානයේ නිළධාරීන් 08 කු හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකෙරුණු අතර, සෙසු නිලධාරීන් සිය නිවෙස්වල නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

    කෙසේවෙතත් පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසු ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ නිලධාරින් එම පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

    මේ වනවිට පොලිස් නිලධාරීන් 345කට ආසන්න පිරිසක් නිරෝධායනය කර ඇති බවය.

     

     

    ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 351ක් බව කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    එලෙස වාර්තා වූ ආසාදිතයින් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද නිරෝධායනය වෙමින් සිටි පිලිපීන ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි අයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    මීට අමතරව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 312 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා.

    එයින් ආසාදිතයින්

    159 දෙනෙකු කොළඹ නගරයෙන්ද,

    32ක් මට්ටක්කුලියෙන්ද,

    මෝදර ප්‍රදේශයෙන් 03ක්,

    බොරැල්ල 07 දෙනෙක්,

    ග්‍රෑන්ඩ්පාස් 02ක්,

    කිරුලපොන 03ක්,

    දොම්පේ 04ක්,

    මහර 55ක්,

    වත්තල 17ක්,

    මිනුවන්ගොඩ 05ක්,

    බියගම 01ක්,

    සීදුව 03ක්,

    අත්තනගල්ල 06ක්,

    ජා - ඇල 07ක්,

    නාරාහේන්පිට 02ක්,

    වැල්ලවත්ත 01ක්,

    දෙමටගොඩ 01ක්,

    නාවල 01ක් සහ

    ගම්පහ 03 දෙනෙක් වනවා.

     

     

    කොටගල තේ වත්තෙන් කොවිඩ් - 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හඳුනාගැනේ.

    කොටගල නගර වසා දැමිමට වෙළඳ සංගමය තීරණය කරයි.

    හැටන් කොටගල රොසිටා සහ ග්‍රෙටන් තේ වතු වලින් කොවිඩ් - 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු (26) දින හඳුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසීය.

    කොවිඩ් - 19 වෛසරය අසාදනය වු එම රෝගීන් දෙදෙනා පැලියගොඩ මත්ස්‍යය වෙලඳපොලේ සේවය කල දෙදෙනෙකු බවත්, එම සේවකයින් දෙදෙනා නිවසට පැමිණ සිටියදී කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔහුන්ව ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු එම පි.සි.ආර් වාර්තාව අනුව, එම සේවකයින් දෙදෙනාට කොවිඩ් - 19 වෛරසය අසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.

    කොවිඩ් - 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.

    කොටගල ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛරසය අසාදනය වු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග කොටගල නගරයේ වෙළඳසැල් (26) දින වසා දැමීමට කොටගල නගරයේ වෙළඳ සංගමය තීරණය කර ඇති අතර, කොටගල ප්‍රාදේශිය සභාව විසින් නගර විෂබිජහරණය සිදු කරන ලදී.

    මේ අතර, තලවකැලේ පොලිස්වසමට අයත් රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචි පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කළ සේවකයෙකුට කොවිඩ් - 19 වෛසරය අසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බව ලිදුලි සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පැවසීය.

     

     

    හැටන් මහජන වෙළඳපොල තවදුරටත් වසා තැබෙයි.

    නගරයේ වෙළඳසැල් අද විවෘත කෙරේ. 

    හැටන් මහජන වෙලදපොලේ මත්ස්‍යය වෙලෙන්දෙකුට කොවිඩ් - 19 වෛසරය අසාධනයවී ඇති බවට තහවුරු වීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් (25) දින සිට යළි දැනුම් දෙනතුරු හැටන් මහජන වෙළඳපොලේ වෙළඳසැල් බස් නැවතුම්පොල දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

    මහජන වෙළඳපොල වසා දැමීමත් සමග හැටන් නගරයට විශාල ජනතාවක් එකවර පැමිණිම නිසා හැටන් දික්ඔය නගර සභාව විසින් (25) දින පස්වරුවේ වසා දැමු හැටන් නගර මධ්‍යයේ වෙළඳසැල් (26) දින විවෘත කර තබන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදී ඇත.

    හැටන් මහජන වෙළඳපොලේ කොවිඩ් - 19 වෛරසය අසාදනය වු මත්ස්‍යය වෙළෙන්දා නගරයේ ස්ථාන කිහිපයකම සැරිසරා ඇති අත‍ෙ, එම ආශ්‍රිතයන් දැනට හඳුනාගෙන ඇති අතර, එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරීමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.

    හැටන් බස් නැවතුම්පොළට පිවිසෙන ලංගම සහ පෞද්ගලික බස් රථවල විශාල අඩුවක් දක්නට ලැබේ.

     

     

    හම්බන්තොට ධීවර වාරයේ‍ ධීවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතිබවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරුවී තිබේ.

    හම්බන්තොට ධිවර වාරයේ දිවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසිගිය 23 වනදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු අද(25) දින ලැබුණු පරීක්ෂණ වාර්තා වලින් මෙය තහවුරුවී තිබෙනවා.

    කෙසේ නමුත් මේ ආකාරයෙන් කොරෝනා වෛරසය ආසාධනයවී ඇති ධිවරයින් හම්බන්තොට ගඩොල්මුල්ල, සිප්පිකුලම, ප්‍රදේශයේ හා ජාතික නිවාස මාවත, ප්‍රදේශයේ පදිංචි අය බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    මොවුන් අතරින් එක්අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් 2020.10.21 දින සිට ස්වයං නිරෝධනයට ලක්කර සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රථිපල ලැබෙන තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.

    හම්බන්තොට ධීවරවාරයේ ධීවරයින් 57 දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුළ ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60 දෙනෙකු හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රයේදී පසුගිය 23 වැනි දින PCR පරීක්ෂණ සඳහා යොමුකරන ලදී.

    මෙහිදී පෑලියගොඩ ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු හම්බන්තොට වාරායේ ධිවරන් 6කු ගේද මේ ආකාරයන් PCR පරීක්ෂණ සිදුකළ අතර අනෙකුත් ධීවරයින්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ, අහඹු ලෙස තෝරාගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබුවේ.

     

     

    දෙහිඕවිට කොවිඩ් - 19 ආසාධිතයින් 08 ක් ගම්මාන 5 ක් හුදකලා කෙරේ.

     

     

    පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන සියලු සති පොළවල් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව පූජාපිටිය ප්‍රදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය.

    දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලින් බහුල වශයෙන් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පතා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙම සතිපොළවල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කළ බවත් සභාපතිවරයා පැවසීය.

    සතිපොළවල වෙළඳාම් කිරීම සඳහා විවිධ ප්‍රදේශවල සිට වෙළදුන් පැමිණිම ද අවදානම් බව සේඛ්‍ය අංශ මගින් පෙන්වා දෙනු ලැබ තිබේ.

    පූජාපිටිය ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් පූජාපිටිය, අංකුඹුර සහ බොක්කාවල නගරවල සති පොළ සභාව මගින් පවත්වාගෙන යනු ලබයි.

     

     

     

    රත්නපුර මල්වල ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාලු වෙළෙන්දාගේ පවුලේ තිදෙනෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරුවීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිපයක් හුදෙකලා කිරීමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් තීරණය කළේය.

    ඒ අනුව අද (26) සිට එම ගම්මාන වල සංවරණ සිමාවන් පනවා තිබේ.

    මල්වල ඕලුගල හංදියේ සිට මාර්ගය, කනේගල්ල කුරුවිට මාර්ගය, රත්තුරුගල මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය. එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන ගම් හුදෙකලා කිරීමට ද තිරණය කර තිබේ.

    ඊයේ (25) දිනය තුළ ලද පි.සි ආර් පරික්ෂණ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවී තිබේ.

    මල්වල මාලු වෙළෙන්දා ගේ බිරිඳ දරුවන් දෙදෙනා හැරුණු විට ඇහැළියගොඩ ප්‍රාදේශයේ එක් අයෙක් ආසාදිත බවට තහවුරුවී ඇතැයි, සබරගමු සෞඛ්‍ය බලධාරීන් පවසති.

     

     

    කොරෝනා පැතිරයාම නිසා මේ දිනවල වසා දමා ඇති කොළඹ මැනිං වෙළදපොළ, බැස්ටියන් මාවත, පෞද්ගලික බස්නැවතුම්පල හා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ විෂබීජහරණය සිදු කෙරිණ.

    පොලීසිය හා කොළඹ මහනගර සභාව එක්ව අද (26) විෂබීජ හරණය සිදුකළ ආකාරය ඡායාරූප වලින් දැක්වේ.

     

     

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් - 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

    ඔහු තවදුරටත් පැවසුවේ, ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනයවී ඇති බවයි.

    මේ අතර, රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනිණ.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

     

     

     

    කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.

    බණ්ඩාරගම, ඉංගිරිය, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් ඒ සඳහා වෙන්කර ඇත.

    කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහල් පහේ කොරෝනා ආසාදිත රෝගීන් 240 සඳහා ඇඳන් සහ අනෙකුත් පහසුකම් සපයා ඇත.

    මේ වනවිටත් ඉංගිරිය රෝහලේ රෝගීන් 33 දෙනකු හා පිඹුර රෝහලේ රෝගීන් 60 ප්‍රතිකාර ලබන බවත් මීට අමතරව පානදුර සහ හොරණ මූලික රෝහලට කොරෝනා ආසාදිත යැයි සැක කරන යම් රෝගියෙක් පැමිණිය හොත් ඔහු වෙන් කර තැබීමේ පහසුකම්ද එම රෝහල්වල සලසා ඇතැයි ගීගනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනාගෙන තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවය.

    ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.

     

     

     

    මොරටුව අධිකරණයේ කටයුතු නොවැම්බර් මස 01වෙනිදා තෙක් තාවකාලිකව නොපැවැත්වීමටත් හදිසි අත්‍යවශ්‍ය නඩු කටයුතු සිදු කිරිමටත් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතාද අතිරේක මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා තීරණය කොට ඇතැයි මොරටු නීතිඥ සංගමයේ ලේකම් ප්‍රසංසා අලවත්ත මහත්මිය අද (26) පැවසීය.

    නිතීඥ සංගමය වාචිකව සහ ලිඛිතව කරුණු දක්වමින් කරණු ලැබු ඉල්ලීමකට අනුව සාමාන්‍ය පරිදි සිදු වන අධිකරණ කටයුතු කිසිවක් සඳහා නීතිඥවරු ඉදිරිපත් නොවී සිටීමටත් පොලිසිය මගින් අධිකරණයට යොමු කරන හදිසි නඩු කටයුතු සඳහා ඉඩකඩ සලසා දීමටත් තීරණයකට ඇති බව ඒ මහත්මිය පැවසීය.

     

     

     

    කොවිඩ් - 19 වෛසරය අසාදනය වු පෞද්ගලික ආයතනයක ප්‍රාදේශීය කලමණාකාරවරයෙකු නිරෝධානය සඳහා කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කෙරේ.

    ජා - ඇල ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක ප්‍රාදේශීය කලමණාකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකුට කොවිඩ් - 19 වෛසරය අසාදනයවී ඇති නිසා එම කලමණාකාරවරයා නිරෝධායනය සඳහා කන්දකාඩු යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම කළමණාකරුගේ පවුලේ සමාජිකයන් 7 දෙනෙකු නාවලපිටිය සමගිපුර පිහිටි ඔහුගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කිරීමට (26) දින නාවලපිටිය තිස්පනේ සෞඛ්‍යය නිලධාරී කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කළහ.

    ප්‍රාදේශීය කලමණාකාරවරයා සේවය කළ සමාගමේ ඉල්ලීමක් මත එම ප්‍රාදේශීය කලමණාකාරවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැනුවත් කර පෞද්ගලික ආයතනයකින් අදාළ පී.සී.ආර් පරික්ෂණය සිදුකර ඇත.

    එම පරික්ෂණ වාර්තාව එම ප්‍රදේශීය කලමණාකාරවරයා වෙත ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් ප්‍රාදේශිය කළමණාකාරවරයා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටත් පවුලේ සමාජිකයින් නිවසේම ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

    Last modified on සදුදා, 26 ඔක්තෝබර් 2020 14:53

    Latest News