එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරිව ඇති විදෙස්ගත ක්‍රියාකාරී බලවේග ලොව ඕනෑම රටකට තර්ජනයක්; අගමැති

ඔක් 25, 2020

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරිව ඇති විදෙස්ගත ක්‍රියාකාරී බලවේග ලොව ඕනෑම රටකට තර්ජනයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

    ට්විටර් පණිවුඩයක් මගින් අගමැතිවරයා, බ්‍රිතාන්‍ය එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගනු ඇති බවට විශ්වාසය පළ කළා.

    බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත්කිරීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව සිටින බවයි බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ.

    බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබද අභියාචනා කොමිසම එරට එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන ලෙසට පසුගිය බදාදා නිර්දේශ කළා. ඒ සංක්‍රාන්තික දෙමළ ඊළාම් ආණ්ඩුව හෙවත් ටී.ජී.ටී.ඊ. නමැති බෙදුම්වාදී සංවිධානය කළ අභියාචනයකට අනුවයි.

    එම සංවිධානය තම ඉල්ලීම මගින් පෙන්වා දී තිබුනේ කොටි සංවිධානයට බ්‍රිතාන්‍ය රජය පනවා ඇති තහනම ස්වාධීන ඊළාම් රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට ලබාදුන් වැරදි අර්ථ කථනයක ප්‍රතිඵලයක් බවයි.

    කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග සිය ප්‍රීතිය පළකරමින් නිවේදනයක් නිකුත් කළ ටී.ජී.ටී.ඊ. සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. යනු නිදහස් විමුක්තිකාමින් පිරිසක් මිස ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු කල්ලියක් නොවන බවයි.

    කොමිසමේ නිර්දේශය මේ වනවිට බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකා රජයට මේ තීන්දුවට එරෙහිව කරුණු ඉදිරිපත් කළ හැකිවන්නේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිතාන්‍යයේ අභියාචනා කොමිසමේ තීන්දුව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ කොටි සංවිධානය තවමත් ත්‍රස්තවාදී මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් ප්‍රතිසංවිධානය වීමට දරණ උත්සාහය ගැන සාක්ෂි සහිතව කරුණු පැහැදිළි කරන බවයි. දින 14ක් තුල මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජයට සිදු වනවා.

    ඊට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට සැළසුම් කරනවා. එල්.ටී.ටී.ඊ. නමැති ත්‍රස්තවාදී සංවිධානය තවමත් සක්‍රීය බවට සාක්ෂි අධිකරණය වෙත යොමුකිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයක්.

    බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දස දහසකගේ අත්සන් සහිත පෙත්සමක් එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම තවත් ක්‍රියාමාර්ගයක්. එමෙන්ම වත්මන් තර්ජනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ වෙබ් සමුළුවක් පැවැත්වීමටද ලන්ඩනයේ විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන සූදානමින්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය කොමිසමේ තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබුනා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට නැවතීමේ තිත තැබූ බවයි.

    එහෙත් ඉතිරි ත්‍රස්තවාදී බලවේග ලොව ඕනෑම රටකට තර්ජනයක් විය හැකි බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා එල්.ටි.ටී.ඊ. තහනම දිගටම පවත්වා ගැනීමට බ්‍රිතාන්‍යය උත්සුක වනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 20:06

    Latest News