අයි.එස් මතවාද දැරූ සහරාන්ව තවුහිද් ජමාත් සංවිධානයෙන් ද නෙරපා දැම්මා; එහි හිටපු සභාපති තව්ෆික් මව්ලවි

ඔක් 25, 2020

    අයි.එස් මතවාදය දැරීම හේතුවෙන් සහරාන් හෂීම්ව ජාතික තවුහිද් ජමාත් සංවිධානයෙන් ද නෙරපා තිබු බව එම සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොහොමඩ් යූසුෆ් මොහොමඩ් තව්ෆික් මව්ලවිවරයා පවසනවා.

    බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ දින ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රැන්ග්‍රීලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් වෙන්වූ බෝම්බ කරුවෙකුගේ හිස සහරාන්ගේම යැයි තමන් විසින් හදුනා ගන්නා ලද බවයි.

    ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූවෙක් වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින මොහොමඩ් යූසුෆ් මොහොමඩ් තව්ෆික් නම් මව්ලවිවරයාව සාක්ෂි විමසීම සදහා ඊයේ පස්වරුවේ බන්ධනාගාර නිලධාරින් විසින් ජනාධිපති කොමිසමට රැගෙන එනු ලැබුවා.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කර සිටියේ ඔබ සහ සහරාන් හෂීම් අධ්‍යාපනය ලැබුවේ එකම පාසලකින්ද යන්නයි.

    මම කාන්තන්කුඩියේ පිහිටා ඇති ජාමියාතුල් ෆ්ලා අල් අරාබියා පාසලෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. සහරාන් පළමුව අධ්‍යාපනය ලැබුවෙත් එම පාසලෙන්මයි. ඔහු මට වඩා එක් වසරක් වැඩිමහල්. නමුත් පසුව පාසල් නීති රීතිවලට විරුද්ධව කටයුතු කරපු නිසා එම පාසලෙන් අයින් කළා. ඊට පස්සේ ඔහු ඉබුනු මසූරු කියන අරාබි පාසලේ ඉගෙන ගත්තා.

    ඇයි සහරාන්ව ඔබ අධ්‍යාපනය ලැබු පාසලෙන් නෙරපා හැරියේ යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසුවා.

    " ඉස්ලාම් දහමේ පැවති නීතිරිති සම්බන්ධයෙන් පාසලේ පිළිගැනීම සහ සහරාන්ගේ මතවාදය අතර වෙනසක් තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් පාසලේ නීතියක් තිබ්බා මුස්ලීම්වරුන් හිස් ආවරණ තොප්පියක් සහ සාටකයක් පැළදිය යුතුයින් කියන එක නමුත් ඒක සහරාන් පිළිගත්තේ නැහැ. මෙවැනි පාසලේ නීති රීති උල්ලංඝනය කිරීම නිසා තමයි සහරාන්ව පාසලෙන් නෙරපා හැරියේ " යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නා.

    පසු කාලයේදි ඔබ සහරාන්ගේ පල්ලියේ වැටුප් ලබන මව්ලවිවරයෙකු ලෙස කටයුතු කළා දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කර සිටියා.

    " ඔව්. සහරාන් මට ආරාධනා කළා මව්ලවිවරයෙකු විදිහට ඉස්ලාම් දහම අනිත් අයට කියා දෙන්න කියලා. මම 2014 වැටුප් ලබන මව්ලවිවරයෙකු ලෙස කාන්තන්කුඩියේ ජාතික තවුහිද් ජමාත් පල්ලියට සම්බන්ධ වුණා. " යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය යළි ප්‍රශ්න කළේ ඔබ සම්බන්ධ වන අවස්ථාව වන විට එහි ප්‍රධාන මව්ලවිවරයා ලෙස කටයුතු කළේ කව්ද යන්නයි.

    " 2014 ඉදලා මේක සාමාන්‍ය පල්ලියක්. ඒ කාලේ සහරාන් පල්ලියේ සභාපති පාලකයා විදිහට කටයුතු කළා. මම ඒ කළේ උප සභාපති ලෙස සිටියා. නමුත් 2015 දී තමයි ප්‍රාදේශිය සභාව මගින් පල්ලිය ලියාපදිංචි කළේ. එතකොට සභාපති වුණේ සාෆි කියලා කෙනෙක්. 2016 සභාපති ලෙස කටයුතු කළේ මම. 2017 දෙසැම්බර් වෙද්දි සහරාන් අයි.එස් මතවාදය දරන්නෙක් බව පෙනී ගියා. ඒ නිසා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පාලක මණ්ඩලය සහරාන්ව සංවිධානයෙන් ඉවත් කළා. ඊට මාස 06 කට විතර පස්සේ සහරාන්ගේ මල්ලි ශෛයිනිත් සහෝදරයාගේ මාර්ගයේ යන බව පෙනී ගිය නිසා අපි ඔහුවත් ඉවත් කරන්න තීරණය කළා " යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නා.

    ඔබ ඔය විදිහට කිව්වට ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමාජ ජාලා ඔස්සේ බෙදා හැරපු සහරාන්ගේ දේශනාවල අන්තවාදි කරුණු අඩංගු වෙනවානේ. " යැයි රජයේ අධිනීතිඥවරිය වැඩිදුරටත් ප්‍රශ්න කළා.

    " ජාතික තවුහිද් ජමාත් කියන්නේ ත්‍රස්තවාදි සංවිධනායක් නෙමේ. ලක්ෂපාන ගම්මානයට ගංවතුරක් ආපු වෙලාවේ සිංහල මුස්ලීම් භේදයක් නැතුව අපි ඒ අයට උදව් කළා. සහරාන් ත්‍රස්තවාදියෙක් වුණා කියලා ඔබලා මාව ත්‍රස්තවාදියෙක් ලෙස නම් කරන්න එපා. මමත් මනුෂ්‍යයෙක් සහරාන්ගේ හැසිරීම් රටාව 100% නිරීක්ෂණය කරන්න මට බැරි වුණා " යැයි සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළා.

    ඔබ සහ මුස්තකි නම් තැනැත්තාගේ නමට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට තිබුණු බැංකු ගිණුමකින් ඔබ රුපියල් 5,484,000 ( පනස් හතර ලක්ෂ අසූ හතර දහසක් සහරාන්ල ලබාදුන්නා දැයි රජයේ අධිනීතිඥවරිය විමසුවා.

    " මමයි සංවිධානයේ භාණ්ඩාඩාගාරික වන මුස්තකින්නුයි තමයි එම මුදල ගන්න අත්සන් කළේ. භාණ්ඩාගාරික ලෙස. මුස්තකින්ට තමයි මුදල් දුන්නේ. සහරාන්ට සෘජුව මුදල් දුන්නද කියලා මම දන්නේ නැහැ. " යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    එම මුදල මොකටද භාවිතා කළේ යැයි රජයේ අධිනීතිඥවරිය විමසූ විට සාක්ෂිකරු පිළිතුරු දුන්නේ පල්ලිය හදන්න යනුවෙන්.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය යළි ප්‍රශ්න කළේ, " 2015 ජනාධිපතිවරණයේදි සහරාන් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය කවර අපේක්ෂකයෙකුට සහය දුන්නේද " යන්නයි.

    " අපි විවෘතව සහය දිය යුතු කෙනා ගැන කිව්වේ නැහැ. නමුත් අපි අපේ ජනතාවට මගපෙන්නුවා. දූෂණ වංචා නොමැති අයෙක් තෝරා ගන්න කියලා. 2015 මහ මැතිවරණයේදි නම් අපි දේශපාලන පාර්ශව කිහිපයක් සමග ගිවිසුම් ගත වුණා. එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අබ්දුල් රහුමාන්, සිබ්ලි ෆාරුක් සහ රූබි යන පිරිසත් සමග " යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නා.

    මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ 2019 අප්‍රේල් 21 බෝම්බ පිපිරී මේ මහා විනාශය සිද්ධ වෙද්දි ඔබ කොහෙද සිටියේ යන්නයි.

    මම පල්ලියේ හිටියේ යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    ඔබට අන්තීමට සහරාන්ව හම්බුණේ කවදාදැයි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් ප්‍රශ්න කළා.

    " 2017 මාර්තු 10 කාත්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේ ඇතුවුණ ගැටුමෙන් පස්සේ මම සහරාන්ව දැක්කේ නැහැ. දුරකතනයකින්වත් සම්බන්ධ වුනේ නැහැ. " සාක්ෂිකරු කියා සිටියා.

    ඔබ අත්අඩංගුවට පත්වුණේ කවදාද...? ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළා.

    ප්‍රහාරයෙන් දවස් දෙකකට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපේ නිවසට ඇවිල්ලා සහාරන්ගේ හිස හඳුනාගන්න පුළුවන්ද ඇහුවා. මම ඒක හඳුනාගත්තා. පස්සේ අප්‍රේල් 28 වැනිදා මම අත්අඩංගුවට පත්වුණා යැයි සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නා.

    Latest News