වෛද්‍ය වාර්තා පාස්කු කොමිසමට ඉදිරිපත් කරන්නැයි හිටපු ජනපතිට නියෝග

ඔක් 24, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිංගප්පුරුවේ රෝහලක රැදී සිටිමින් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද නියෝග කළා.

    ඒ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින සහ ඊට පෙර දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පැවති දුරකතන සම්බන්ධතා අද කොමිසමේදි ප්‍රශ්නගත වූ අවස්ථාවේදි.

    මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු 46 කට පෙර සිංගප්පුරුවේ සිටි හිටපු ජනාධිපතිවරයා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකතන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසමේදි අද අනාවරණ වුණා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාවට සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 06 වන දිනටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසුවා.

    එහිදි ජනාධිපති නීතිඥවරයා පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නගන ලද ප්‍රශ්නයක් කෙරෙහි හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.

    එම ප්‍රශ්නය යොමු කිරීමත් සමග විවෘත කොමිසම හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ,

    " ස්වාමිනි, පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ. මම ඒකට සාක්ෂි දෙන්න ගියෙත් නැහැ. අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් හම්බවෙන්න කිව්වා. දැන් ඔබතුමා ඔය ප්‍රශ්නෙදි ඇහැව්ව සරත් ෆොන්සේකා මහත්මයාට මාත් එක්ක පෞද්ගලික වෛරයක් තියෙනවා. ඒ තේරීම් කාරක සභාවේ ඉදපු අනිත් සාමාජිකයනුත් මාත් එක්ක පෞද්ගලික වෛරයකින් ඉදපු අය. මම ඒක හමුවේ ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ ප්‍රකාශය විතරක් හරි. නමුත් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මම ගැන නිර්දේශ කරලා තියෙනවා නම් මම ඒවා පිළිගන්නේ නැහැ " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    මෙහිදි ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඔබ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින නීතිය හා සාමය අමාත්‍යාංශය ඔබ යටතට ගත්තේ ඔබව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතිනවා යැයි සමාජය හමුවේ මතයක් පැවති නිසාද යන්නයි.

    නැහැ ස්වාමිනි මම එය ප්‍රතික්ෂේප කරනවා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    " ඔබ කොමිසම හමුවේ සාක්ෂි දුන්නා ඉකුත් වසරේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් මෙම ප්‍රහාරය පිළිබද පූර්ව දැනුවත් කිරීමක් කරලත් ඔබ විසින් අප්‍රේල් 08 දින පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීමේදි කිසිදු නිලධාරියෙකු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන දැනුම් දුන්නේ නැහැ කියලා. ඒ පිළිබද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද යැයි " ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විමසීමක් කළා.

    " ඔව් ස්වාමිනි, කිසිවෙකු එම රැස්වීමේදි ඒ වන විටත් ලැබී තිබුණු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන කිව්වේ නැහැ. ඒ වෙද්දිත් පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටි නිලධාරින් රැසක් මේ ගැන දැනං ඉදලා තියෙනවා. නමුත් මට කිව්වේ නැහැ. තොරතුර ගැන දැනගත්තා නම් මම රට යන එක නවත්වනවා. " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියා.

    " රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් මේ කොමිසම හමුවේ කියා සිටියා අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර ගැන අප්‍රේල් 11 වෙද්දි ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු 15,000 දෙනා දැනගෙන හිටියා කියලා. ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ " යැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළා.

    " 15,000 ක් දැනගෙන හිටියද කියලා නිශ්චිත වශයෙන්ම මම දන්නේ නැහැ. නමුත් 15,000 ක් දැනගත්තා කිව්වට එවකට ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වෙච්ච ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාවත් දැනගෙන හිටියේ නැහැ " යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

    ඒක පිළිගන්න පුළුවන් කතාවක්ද..? ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළුව 15,000 දෙනා දැනන් ඉදපු දෙයක් රටේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වන ඔබතුමා දැනන් හිටියේ නැහැ කියන එක යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළා.

    " මම දන්නේ නැහැ ඒක " යැයි හිටපු ජනාධිපතිවරයා කෙටියෙන් පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු නිලන්ත ජයවර්ධන මහතාට කියා තිබුණා නේද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් තිබුනොත් ඔබව සෘජුවම දැනුවත් කරන්න කියලා. ඉතිං මේ තොරතුර ගැන ඔබව ඔහු දැනුවත් කළෙව් නැද්ද..? යන්නයි.

    ඔව් මම ජාතික ආරක්ෂක කවුන්සලයේදි ජයවර්ධන මහත්මයාට එහෙම දැනුම්දීලා තිබුණා. නමුත් පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීම වෙනකන් කිසිවෙකුත් මාව මේවැනි දෙයක් ගැන දැනුවත් කළේ නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

    ඔබ නිලන්ත ජයවර්ධන මහතා සමග දෛනිකව දුරකතනයෙන් සම්බන්ධවීම පුරුද්දක්ව පැවතියාද යැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදි විමසීමක් කළා.

    නැහැ එහෙම දිනපතා දුරකතන සම්බන්ධතා පැවැත්වුවේ නැහැ යැයි හිටපු ජානාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    " ඔබ එහෙම කිව්වට 2019 ජනවාරි මාසේ 01 වෙනිදා ඉදලා අප්‍රේල් 31 වෙනිදා වෙනකන් නිලන්ත ජයවර්ධන මහතා සහ ඔබතුමාගේ පැජට් පාරේ පිහිටි නිවස අතර දුරකතන ඇමතුම් 221 ක් පැවති බවට දුරකතන වාර්තා තියෙනවා " යැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට දුරකථන වාර්තා යොමු කළා.

    එහිදි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ,

    " වාර්තාවල තිබ්බට මට නම් මතකයක් නැහැ මෙච්චර ඇමතුම් ගත්තා කියලා. නිලන්ත ගෙදරට ගත්තද මම දන්නේ නැහැ. හැබැයි මට ඔච්චර ඇමතුම්වලට පිළිතුරු දෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. " පැවසුවා.

    ඒ වුනාට හිටපු ජනාධිපතිතුමනි " ඇමතුම්වලට අදාළ දත්ත වාර්තා මේ ලේඛනවල තියෙනවානේ. ඉතිං ඒවා නිවැරදි නැහැ කියන්න පුළුවන්ද..? යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා විමසුවා.

    " මට ඔය තාක්ෂණික කරුණු ගැන මට අවබෝධයක් නැහැ. මම දුරකතනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට ඔය වාර්තා තේරුම්ගන්න දැනුමක් නැහැ " යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙහිදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති අවස්ථාවන්ගේ දුරකතන වාර්තා තවදුරටත් කොමිසම් සභාවේ අධ්‍යනයට යොමුකරමින් ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ,

    " ඉකුත් වසරේ අප්‍රේල් 01 - 21 අතර ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකතන සම්බන්ධතා 20ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් 04 බුද්ධි තොරතුර පිළිබදව ඔබව දැනුවත් නොකළා කියලා විශ්වාස කරන්න පුළුවන්දැයි " ජනාධිපති නීතිඥවරයා විමසුවා.

    මට මේ දුරකතන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිලිතුරු දීමත් සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා තම කණිෂ්ඨ නීතිඥවරයෙකුව හිටපු ජනාධිපතිවරයාගේ සහයට යොමු කළා.

    කෙසේ වෙතත් එහිදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

    " මේ වාර්තාවල තිබුනට මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ. නිලන්ත පැජට් පාරේ මගේ නිල නිවසට ගන්න ඇති. එත් මට මම මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ " යන්නයි.

    එහිදි ජනාධිපති නීතිඥවරයා යළිත් ප්‍රශ්න කළේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වෙනවා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව විදෙස් බුද්ධි අංශය දැනුවත් කරන්නේ ප.ව 4.12 ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 6.16 ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව මෙම වාර්තා වල සදහන් වෙනවා යන්නයි.

    " වාර්තාවල සදහන් වුනාට මම ඒ වෙලාවේ හිටියේ සිංගප්පුරු රෝහල් අභ්‍යන්ත‍රයේ ප්‍රතිකාර ගනිමින්. මම මීට කළිනුත් මේ කොමිසමට කිව්වා. මට මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් කළේ පිපිරීම්වලට පස්සේ. ඊට කළින් මට කවුරුත් මේ ගැන කිව්වේ නැහැ " යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

    " හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා දුරකතනය භාවිතා කලේ නැහැ කිව්වාට. මේ වාර්තාවල සදහන් වෙනවනේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පුරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබු ජංගම දුරකතනයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ගිහින් තියෙන බව " යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළා.

    මම ඇත්ත කියන්නේ. මම එදින හිටියේ සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය ඉන්න නිසා මම ඒ වෙලාවේ ඉදපු තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    " හරි එහෙම නම් මේ දේ කියන්න. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුළ පළමු බෝම්බ පිපිරෙන්න කළින් පෙ.ව 7.49 ට සිංගප්පුරුවේ සිටි ඔබේ දුරකතනයෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩියයි තත්ත්පර 38 ක ඇමතුමක් ලැබී ඇති බව දුරකතන වාර්තාවල සදහන් වෙනවා ඔබ ඒ ගැන මොකද කියන්නේ. " යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් විමසා සිටියා.

    " වාර්තාවල තිබුනා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි ඉදපු තත්ත්වට අනුව මට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ කියන්නේ සත්‍යය. අවශ්‍යනම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම් " යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

    " හිටපු ජනාධිපතිතුමනි ප්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවයකින් පෙළුණා කියලා දැන් කිව්වට, එදින උදෑසන ඔබේ දුරකතනයෙන් විශාල ඇමතුම් ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ " යැයි විමසුවා.

    එහිදි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වාර්තාවල සදහන් වෙන්න පුළුවන් නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා යන්නයි.

    " හරි දැන් ඔබතුමා කියනවා ප්‍රහාරය සිදුවුණ දවසේ ඔබතුමා කතා බහ කිරීමේ අපහසුතාවයකින් පෙළුනා කියලා. ප්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවයකින් පෙළුණා නම් කොහොමද මේ ප්‍රහාරයෙන් පස්සේ එක ළග ඇමතුම් 07 ක් අරගෙන තියෙන්නේ " යැයි ජනාධිපති නීතිඥවරයා යළි යළිත් ප්‍රශ්න කළා.

    කෙසේ වෙතත් අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා දුරකතන වාර්තා සම්බන්ධයෙන් කළ මෙම දැඩි ප්‍රශ්න කිරීම හමුවේ කොමිසම් සභාවේ නැගී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ශමිල් පෙරේරා මහතාට බාධා කරමින් ඔහු එකම ප්‍රශ්නය අසන බවට චෝදනා කළා.

    කෙසේ වෙතත් මේ තමන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරය බැවින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට නිශ්ශබ්දව අසුන් ගන්නා ලෙස පැවසු ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යළිත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ,

    " ඔබතුමා ඔපමණ රෝගි තත්ත්වයකින් අපහසුවකින් සිටියේ නම්, ප්‍රහාරය එල්ල වූ දින මධ්‍යම රාත්‍රීයේම හදිස්සියේ දිවයිනට පැමිණියේ කෙසේද යන්නයි. "

    එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ හැකි බව පැවසුවද එහිදි නැගී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය ඇසීම පිළිබද සිය විරෝධය පළ කළා.

    කෙසේ වෙතත් මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට නියෝග කළේ,

    " කිසියම් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තා පෞද්ගලික වුවද, උද්ගතව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය නොමැති අවස්ථාවක එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.

    මෙහිදි සිය හරස් ප්‍රශ්න ඇසීම අවසන් කරමින් අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යෝජනා කර සිටියේ,

    " කතෝලික ජනතාව ද ඇතුළුව ජීවිත 300 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වූ මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම කෙරෙහි වගකිවයුතු ප්‍රධානියා ඔබ නොවන්නේද යන්නයි.

    කෙසේ වෙතත් යෝජනාව හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    Latest News