ධීවර කර්මාන්තය සංවර්ධනයට වියට්නාමයේ එකඟත්වය

ඔක් 18, 2020

    මෙරට ධීවර කර්මාන්තය හා ජලජීවි වගාවන් සංවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට වියට්නාමය එකඟත්වය පළ කළේය.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි, පාම්ති බීච් නොගෙක් මහත්මිය අතර කොළඹ දී ඊයේ පැවති සාකච්ජාවකදී මේ තීරණයට එළඹ තිබේ.

    2021 සිට 2025 වසර දක්වා දියත් කෙරෙන ධීවර කර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති සඳහා මෙම ද්වීපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීමට තීරණය කෙරිණ.

    මුහුදු කූඩැල්ලන් වගාව, මිරිදිය මත්ස්‍ය වගාව ඇතුළු ජලජීවි වගාව පිළිබඳ භාවිත කරන නවීන ක්‍රම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, දෙරටේ විශේෂඥ දැනුම වර්ධනය කරගැනීම යන කරුණු, ගිවිසුමට ඇතුළත්.

    මෙරට ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා වියට්නාමයෙන් ලැබෙන මූල්‍ය ආධාර පිළිබඳව ද ගිවිසුමේ සඳහන් කිරීමට නියමිතයි.

    වියට්නාම විශේෂඥයින් මෙරටට කැඳවා ඉස්සන් වගාව හා ජලජීවි වගාව පිළිබඳ වැඩමුළු නාරා ආයතනය හා එක්ව සිදු කිරීම පිළිබඳ කරුණු ද ගිවිසුමට ඇතුලත්.

    2005 වසරේ ද දෙරට අතර මෙවැනි ගිවිසුමක් අත්සන් තැබුණු අතර 2010 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුළ සාර්ථක ව්‍යාපෘති රැසක් එමඟින් නිම කෙරුණු බව ද අමාත්‍යවරයා වියට්නාම තානාපතිනිය වෙත දන්වා සිටියාය.

    Latest News