උඩරට කලාකරුවන් රැකගැනීමට පියවර - දියවඩන නිලමේ

ඔක් 18, 2020

    උඩරට කලාකරුවන් ආර්ථික හා සමාජීය වශයෙන් පත්ව ඇති පීඩාව වැළැක්වීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් මේ වනවිටත් වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

    උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් නොමැති කලාකරුවන්ට කලා අංශයෙන් විශිෂ්ට කුසලතා දැක්විය හැකි උසස් අධ්‍යාපන ආයතනයක් මේ වනවිටත් ආරම්භ කර ඇතැයි, අද ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් දියවඩන නිලමේවරයා  ප්‍රකාශ කළේය.

    සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට දශක ගණනාවක් තිස්සේ සක්‍රීයව දායක වූ කලා පරපුරු සහ කලාකරුවන් පිළිබඳ තොරතුරු වලින් සමන්විතව මාධ්‍යවේදී අසේල කුරුළුවංශ මහතා විසින් රචිත දිවිදොස්ගල උරුමක්කාරයෝ ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී දියවඩන නිලමේවරයා මේ බව සඳහන් කළහ.

    ඇසළ පෙරහර මංගල්‍යයට දායක වන කලාකරුවන් පුරුකක් මෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන බවත්, එම පුරුක නොකැඩී පවත්වා ශ්‍රී දළදා මාලිගාව මහත් පරිශ්‍රයක් දරන බව දියවඩන නිළමේවරයා සඳහන් කළේය.

    දිවිදොස්ගල උරුමක්කාරයෝ ග්‍රන්ථය කර්තෘ අසේල කුරුළුවංශ මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිළිගැනුණු අතර, අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඇසළ පෙරහරට සක්‍රීයව දායක වූ දැනට වයෝවෘද්ධ තත්ත්වයෙන් කලාකරුවන් 18 දෙනකුට එම ග්‍රන්ථය සහ සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

    මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය එච් එම්. ඩී. ආර්. හේරත් මහතා, මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News