පාඨලි, ඉලංගකෝන් සහ පූජිත්ට සිතාසි

ඔක් 17, 2020

    හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද සිතාසි නිකුත් කළා.

    ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. 1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩූ පැවරීම දේශපාලනිකව පලිගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    ඔහු සදහන් කළේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාගේ ඇටර්නී බලකරු ලෙස පෙනී සිටි ලසිත පෙරේරා නැමැති පුද්ගලයකු 2015 ජූනී 17 වැනිදා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර සාධාරණයක් ඉටු කරන්නැයි එවකට සිටි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

    එම පැමිණිල්ලට අදාළ විමර්ශන ආරම්භ වන තුරු බ්‍රයන් ජෝන් ෂැඩික් ඔහු සතු සමාගම් කොටස් පිළිබඳව මෙන්ම මුදල් පිලිබදව වසර 18 ක් පුරා කිසිම ආකාරයකින් තමාගෙන් විමසා නොමැති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

    2015 ජනාධිපතිවරණයේදී තමා පාඨලී චම්පික රණවක මහතා ලේකම් ධුරය දැරූ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම මෙම පදනම් විරහිත නඩු පැවරීමට හේතු වී ඇතැයි ගම්මන්පිල මහතා සදහන් කළා.

    ඔහු පැවසුවේ මෙම පදනම් විරහිත නඩු පැවරීමට එවකට සිටි පොලිස්පතිවරුන් වන එන් කේ ඉලංගකෝන් මෙන්ම පූජිත් ජයසුන්දර ඔහුගේ සමීපතමයකු වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුව ද තමාට එරෙහිව යොදා ගෙන ඇති බවයි .

    විදේශිකයෙකුට තමා මුදල් වංචා කර ඇති බව පවසමින් තමාගේ කීර්තී නාමයට අගතියක් සිදු කළ පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළා.

    Latest News