අද කොවිඩි රෝගීන් 73 යි

ඔක් 17, 2020

    (UPDATE) මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 71ක් දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවයි.

     

     

    ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් ක‌ළේ, මේ වනවිට PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකර ඇති බවයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

     

     

    නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

    ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

    එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු නිරෝධායනයට යොමුකර ඇති අතර, ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද පියවර ගෙන ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුර 1900 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඒ, ඊයේ (16) දිනයේ අවසන්වරට හඳුනාගැණුනු ආසාදිතයින් 49 දෙනා ද සමගයි.

     

     

    කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද දිනයේ PCR පරීක්ෂණ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

    ඇය සඳහන් කළේ, අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

    මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදුකර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සඳහන් කළාය.

    කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ඊයේ දිනයේ ලබාගත් PCR පරීක්ෂණවල වාර්තා ලැබීමට තිබෙන බව ඇය ප්‍රකාශ කළාය.

    කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති 02 කට මේ වනවිට සීමා කර තිබේ.

     

     

    රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන් කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, කළුබෝවිල රෝහලේදී සිදුකළ පරීක්ෂණ වලදී එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණයවී තිබෙනවා.

    ඉන්පසු එම කාන්තාව අද දින IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය සතිපොළේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවක් බවත් එම කාන්තාවගෙන් මාළු මිලදී ගත් අය සිටී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම් දීමක් කරනු ලබනවා.

    එසේම මෙම කාන්තාව දෙහිවල පිහිටි පෞද්ගලික දන්ත වෛද්‍ය ආයතනයකට ද ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද පවසනවා.

    එම කාන්තාව වාසය කළ සඳුන්ගම රතුකුරුස වත්ත නිවාස සංකීර්ණයේ ගෙවල් 10 පුද්ගලයින් 34 නිවාස වල ස්වයං නිරෝධායන සඳහා යොමු කළ අතර, එම කාන්තාව ළඟින්ම ඇසුරු කළ තවත් පවුල් 04 කට අයත් පුද්ගලයින් 22ක් මාදම්පේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර තිබෙනවා.

     

     

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දැනුම් දෙයි.

    පළමු පී.සී.ආර්.පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනයවී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී ඇත.

    පසුගිය 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට ද මොහු සහභාගිවී සිටි බැවින්, එම මාධ්‍ය හමුවට සහභාගි වූ සියලු මාධ්‍යවේදීන්ට නිවෙස් වලට වී සිටින ලෙසට නිවේදනයක් ද මින් පෙර නිකුත් විය.

    අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව තවදුරටත් පෙරකී මාධ්‍යවේදීන් නිවෙස් වලටවී සිටිය යුතු නැති බව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කරයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 05දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

     

    මේ අතර, මෙරට කොරෝනා ආසාදනයවී සුවය ලැබූ සංඛ්‍යාව 3,385ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

     

     

    අද (17) වනවිට පුද්ගලයින් 53,395 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 9,415 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 86ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මේ අතර, මේ වන විට මෙරට තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 373,534ක් බව සඳහන් කරන එම මධ්‍යස්ථානය ඊයේ (16) දිනය තුළ පමණක් මෙරට තුළ සිදුකර ඇති පී.සි.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 7,675ක් බව පෙන්වාදෙයි.

    මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල අහඹු ලෙස පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු අද (17) දිනයේත් සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    ඒ අනුව අද දිනයේදීත් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පී.සි.ආර්. පරීක්ෂණ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.

    මේ අතර මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින්ගේ සමීපතමයින් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලු සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට පී.සි.ආර්.පරීක්ෂණයකට ලක්කර ඇති බවයි.

     

     

    මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණයවීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සෞඛ්‍ය අංශයේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට පොලිස් නිලධාරීන්ගේ සහය හිමිව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    අද (17) කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

    මේ අතර, නිරෝධායන ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

     

     

    Last modified on සෙනසුරාදා, 17 ඔක්තෝබර් 2020 16:33

    Latest News