CID බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී

ඔක් 16, 2020

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ඊයේ රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත්තාය.

    ඒ, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදී. මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනුණේ, ජනාධිපතිවරණ දිනයේ දී බස් රථ 221කින් පුත්තලම සිට මන්නාරම දක්වා ඡන්ද දායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළවයි.

    අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් මහතා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිටපු විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සම්මුදීන් මොහොමඩ් යන අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

    මේ අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඒ, නීතිපතිවරයාගේ නියෝගයකට අනුව. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීමෙන් පසු විපක්‍ෂ නායකවරයා සහ බදියුදීන් මන්ත්‍රීවරයා අතර දුරකතන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන්.

    පැය එකහමාරක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.

    තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. කුමුදුනී වික්‍රමසිංහ සහ සෝහිත රාජකරුණා යන මහත්ම-මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි.

    මේ අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමා යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනුකර තිබේ.

    එම පෙත්සම අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ “සෙත්සරණ“ ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින්.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

    එම පෙත්සම කැඳවනු ලැබුවේ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.

    Latest News